LSN News › Sri Lanka

පිටකොටුවේ ගුණසිංහ ප්‍රතිමාව අසල නිවාස සංකීර්ණයේ පළමු මහළ පාතාලය සහ කුඩු ජාවාරම්කරුවන් අතට: නිවාස අධිකාරියේ ව්‍යාපෘති රැසක් "මුදා නොගත් කලාප" වී ඇති බව ඇමති පාර්ලිමේන්තුවේදී පිළිගනී!

අතුරු ප්‍රශ්න නගමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නගර මධ්‍යයේ පිහිටි මෙම සිවුමහල් සංකීර්ණයේ පළමු මහල දීර්ඝ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල නායකයින් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බවය.

LSN Sri Lanka · 28 November 2026

පිටකොටුවේ ගුණසිංහ ප්‍රතිමාව අසල නිවාස සංකීර්ණයේ පළමු මහළ  පාතාලය සහ කුඩු ජාවාරම්කරුවන් අතට: නිවාස අධිකාරියේ ව්‍යාපෘති රැසක් "මුදා නොගත් කලාප" වී ඇති බව ඇමති පාර්ලිමේන්තුවේදී පිළිගනී!

නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස ව්‍යාපෘති ගණනාවක් මුදා නොගත් කලාප බවට පත් වී ඇති බවත්, පිටකොටුව හදවත බඳු ස්ථානයක පිහිටි ගුණසිංහ ප්‍රතිමාව අසල ඇති සිවුමහල් නිවාස සංකීර්ණයේ පළමු මහලේ වැඩිමනත් ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත්තේ පාතාල අපරාධකරුවන්, කුඩු කාර ජවාරම්කාරයින් ඇතුළු නීති විරෝධී අපරාධ කල්ලි විසින් බව අද (28) පාර්ලිමේන්තුවේ දී අනාවරණය වූයේය.

පාර්ලිමේන්තුවේ දී නැගුණු පැනයකට පිළිතුරු දෙමින් නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ පැවසුවේ මේ ගැටලුව විසඳා ගැනීම අතිශය සංකීර්ණ සහ භාරදූර කාර්යයක් වී ඇති බවය.

පිටකොටුව ගුණසිංහ ප්‍රතිමාව අසල මිහිඳු මාවතෙහි පිහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් වෙළඳ හා නිවාස සංකීර්ණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා විසින් යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.

මෙම සිවුමහල් නිවාස සහ කඩ සාප්පු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 1989 වසරේදී ආරම්භ කර 1993 වසරේදී අවසන් කර ඇති අතර, එහි මුළු නිවාස සංඛ්‍යාව 52ක් සහ මුළු කඩ සාප්පු සංඛ්‍යාව 94ක් බව අමාත්‍යවරයා සභාවට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත්, මෙම නිවාස ක්‍රමයේ නිවාස සහ කඩ සාප්පු ප්‍රතිලාභීන් වෙත බැහැර කිරීමේදී අනුගමනය කළ ක්‍රමවේදය හෝ ප්‍රතිලාභීන් තෝරා ගැනීම පිළිබඳ කිසිදු තොරතුරක් කාර්යාල මට්ටමින් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

අදාළ ගොනු පරීක්ෂාවේදී අයදුම්පත්‍රයක් සම්පූර්ණ කර ලබා දීමෙන් පසු සාමාන්‍යාධිකාරීවරයා විසින් එම ඉල්ලීම් අනුමත කර පරිශ්‍ර ලබා දී ඇති බව නිරීක්ෂණය වුවද, නිසි ක්‍රමවේදයක් පිළිබඳ වාර්තා නොමැති බව අමාත්‍යවරයා පැවසීය. පවතින දත්ත අනුව බදු පදනම මත නිවාස 8ක් සහ කඩ සාප්පු 10ක් ද, විකුණුම් වාරික පදනම මත නිවාස 6ක් සහ කඩ සාප්පු 1ක් ද ලබා දී ඇති අතර, සම්පූර්ණ තක්සේරු වටිනාකම ගෙවා අවසන් කළ නිවාස 38ක් සහ කඩ සාප්පු 73ක් පවතී. දැනට හිස්ව පවතින කඩ සාප්පු 10 ජල සහ විදුලි පහසුකම් නොමැතිව අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පවතින බව ද හෙළි විය.

අතුරු ප්‍රශ්න නගමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නගර මධ්‍යයේ පිහිටි මෙම සිවුමහල් සංකීර්ණයේ පළමු මහල දීර්ඝ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල නායකයින් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බවය.

නීත්‍යානුකූල නිවාස හිමිකරුවන් මේ පිළිබඳව නිවාස අධිකාරියට සහ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියට 2010 වසරේ සිට අවස්ථා ගණනාවකදී පැමිණිලි කර තිබුණද, 2025 වසර වන තෙක්ම ඊට කිසිදු විසඳුමක් ලැබී නොමැති බව මන්ත්‍රීවරයා චෝදනා කළේය.

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අනුමත කරමින් අමාත්‍යවරයා කියා සිටියේ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පවා ඉතා අවංකව මෙම කරුණු පාර්ලිමේන්තුවට වාර්තා කර ඇති බවය.

මෙම නිවාස සංකීර්ණය පමණක් නොව තවත් නිවාස සංකීර්ණ කිහිපයක්ම මේ වන විට "මුදා නොගත් කලාප" බවට පත්ව ඇති බවත්, එම ස්ථානවල පාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම අදාළ කල්ලිවල අභිමතය පරිදි සිදුවන බවත් අමාත්‍යවරයා පිළිගත්තේය.

නීත්‍යානුකූල අයිතිය ඇති පුද්ගලයින්ට පවා තම නිවාස හෝ කඩ සාප්පු වෙත පැමිණ පදිංචි වීමට හෝ ව්‍යාපාර කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති අතර, අධිකාරියේ නිලධාරීන් පරීක්ෂණ සඳහා එම ස්ථානවලට ගිය විට කඩු කිනිසිවලින් පවා තර්ජන එල්ල වන බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

පසුගිය කාලවලදී දේශපාලන හිතවත්කම් මත බදු පදනම යටතේ ලබා දී ඇති ඇතැම් කඩ සාප්පු සහ ඉඩම්වලින් කිසිදු බදු මුදලක් අය නොවන අතර, අනවසර ඉදිකිරීම් සහ බිත්ති බැඳ කඩ කාමර බෙදා ගැනීම් හේතුවෙන් තත්ත්වය තවත් සංකීර්ණ වී ඇත.

දේපළවලින් ආදායම් නොලැබීම නිසා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සිය සේවක වැටුප් සහ නඩත්තු කටයුතු පවත්වාගෙන යාමට පවා දැඩි දුෂ්කරතා මතු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, මෙම ගැටලුව විසඳීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහ තමන්ගේ පෞද්ගලික මැදිහත්වීමෙන් විශේෂ කණ්ඩායමක් යොදවා අදාළ නිවාස සංකීර්ණ නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.