දකුණේ ග්රාම නිලධාරී වසම් 408ක පොල් කොළ මැලවීමේ රෝගය: වසර 18ට ගස් ලක්ෂ 3 1/2ක් කැපීමට සිදුවෙයි
2008 සිට 2025 දක්වා ගතවූ වසර 18ක කාලය තුළ මෙම රෝගී තත්ත්වය හේතුවෙන් ඉවත් කරන ලද සමස්ත පොල්ගස් සංඛ්යාව 352,000කට අධිකය. හානියට පත් පොල් වගාවන් වෙනුවෙන් වන්දි මුදල් ලෙස රුපියල් හැටපන් කෝටි විසිතුන් ලක්ෂ හැත්තෑනව දහස් අටසිය තිස්තුනක (652,379,833) මුදලක් ගෙවා ඇති බවද එම වාර්තාවේ දැක්වේ.
LSN Sri Lanka ·

දකුණු පළාතේ ග්රාම නිලධාරී වසම් 408ක් පුරා මේ වනවිට පොල් කොළ මැලවීමේ සහ කුණුවීමේ රෝගය පැතිර පවතින බව හඳුනාගෙන තිබේ. පොල් වගා කිරීමේ මණ්ඩලයට අදාළව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවක මේ බව සඳහන් වේ.
2008 සිට 2025 දක්වා ගතවූ වසර 18ක කාලය තුළ මෙම රෝගී තත්ත්වය හේතුවෙන් ඉවත් කරන ලද සමස්ත පොල්ගස් සංඛ්යාව 352,000කට අධිකය. හානියට පත් පොල් වගාවන් වෙනුවෙන් වන්දි මුදල් ලෙස රුපියල් හැටපන් කෝටි විසිතුන් ලක්ෂ හැත්තෑනව දහස් අටසිය තිස්තුනක (652,379,833) මුදලක් ගෙවා ඇති බවද එම වාර්තාවේ දැක්වේ.
පොල් කොළ මැලවීමේ සහ කුණුවීමේ රෝගය මුලින්ම වාර්තා වූයේ 2008 වසරේදී වැලිගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. පසුව එය ගාල්ල සහ හම්බන්තොට දිස්ත්රික්ක වෙතද සීඝ්රයෙන් පැතිර ගියේය. වෛරසයකට බෙහෙවින් සමාන 'ෆයිටොප්ලාස්මා' (Phytoplasma) නම් ව්යාධිකාරකය මෙම රෝගයට හේතු වන බව පොල් පර්යේෂණ ආයතනය හඳුනාගෙන වසර 18ක් ගතවී ඇතත්, රෝගය සඳහා නිශ්චිත නිවාරණ ඖෂධයක් හෝ ක්රමවේදයක් මෙතෙක් සංවර්ධනය කර නොමැත. ඒ හේතුවෙන් දැනට පවතින එකම ප්රතිකර්මය වී ඇත්තේ රෝගී ගස් කපා ක්ෂේත්රයෙන් ඉවත් කිරීම පමණක් බව විගණන වාර්තාව පෙන්වා දෙයි.
පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශ පරිදි රෝග පාලනය සඳහා ආසාදිත ගස් ඉවත් කිරීම සහ රෝග ප්රතිරෝධී පොල් ප්රභේද සිටුවීම සිදුකරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය විගණනයට දැනුම් දී ඇත. මෙම රෝගය සම්පූර්ණයෙන් මර්දනය කිරීම අභියෝගාත්මක වුවද, පවතින පාලන ක්රමවේද හරහා රෝගී තත්ත්වය සාර්ථකව පාලනය කර ඇති බවද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.