කොළඹ ජාතික රෝහලේ ප්‍රථම හදවත් බද්ධය සාර්ථකයි - පැය 5ක සැත්කමකින් පසු 14 හැවිරිදි දරුවා දැඩි සත්කාර ඒකකයේ!
කොළඹ ජාතික රෝහලේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම අතිසාර්ථකව නිම කෙරේ. වර්ෂාව මැද පොලිස් ආරක්ෂාවෙන් ගම්පහ සිට රැගෙන ආ හදවත පැය 5ක සැත්කමකින් පසු 14 හැවිරිදි දරුවෙකුට බද්ධ කෙරුණි.
LSN Sri Lanka ·

කොළඹ ජාතික රෝහලේ සිදු කළ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම අතිසාර්ථකව නිම කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුට, මොළය මියගිය තරුණයෙකුගේ හදවතක් මෙලෙස බද්ධ කර තිබේ. හදිසි අනතුරකට ලක්ව ගම්පහ රෝහලට ඇතුළත් කර සිටි මෙම තරුණයාගේ මොළය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කිරීමත් සමඟ, කොළඹ ජාතික රෝහලේ හෘද අකර්මණ්‍යතාවයට පත්ව ප්‍රතිකාර ලබමින් සිටි දරුවා වෙනුවෙන් එම හදවත බද්ධ කිරීමට පියවර ගෙන ඇත.

ගම්පහ රෝහලේ සිට ගුවන් මගින් කොළඹ ජාතික රෝහල වෙත හදවත රැගෙන ඒමට මුලින් සැලසුම් කර තිබුණද, පෙරේදා (26) සවස පැවති අයහපත් කාලගුණික තත්ත්වය සහ වර්ෂාව හේතුවෙන් එම ගුවන් ගමන අවලංගු කිරීමට සිදු විය. ඒ අනුව, පොලීසියේ පූර්ණ සහයෝගය සහ විශේෂ ආරක්ෂාව යටතේ ගොඩබිම් මාර්ගයෙන් ක්ෂණිකව එම හදවත කොළඹ ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.

හදවත් බද්ධය සඳහා සූදානමින් සිටි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම පෙරේදා (26) සවස 7.00ට පමණ සැත්කම ආරම්භ කර ඇති අතර, එය පැය 5කට අධික කාලයක් පුරා සිදු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සැත්කම ඉතා සාර්ථකව අවසන් කර ඇති අතර, මේ වන විට එම දරුවා වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය හා රැකවරණය යටතේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙම සුවිශේෂී සැත්කම සඳහා වෛද්‍ය, හෙද ඇතුළු 50කට අධික සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සිය දායකත්වය ලබා දී තිබේ.

මෙය මෙරට සිදු කරන ලද තුන්වන හදවත් බද්ධ කිරීමේ සැත්කම වන අතර, මීට පෙර සිදු කළ හදවත් බද්ධ කිරීම් දෙකම මහනුවර ජාතික රෝහලේදී සිදු කර තිබුණි.