Culture & Entertainment · Sri Lanka Bureau
කවදාවත් ටියුෂන් ගිහින් නෑ... අලි කරදර නිසා ඉස්කෝලෙට හැමදාම ගියෙ පරක්කු වෙලා... ඉස්කෝලෙන් පස්සේ තාත්තගෙ කුඹුරේ... අම්මලගේ විභාගය තනියම කර ලංකාවෙන් පළමු වෙනියා වුන පොඩි එකාගේ කතාව!
අම්මා නැති නිසා අම්මලාගේ විභාගය කරවන්නට කෙනෙක් නැත. කවදාවත් ටියුෂන් ගිහින් නැත. අලි ගහන කැලෑ මායිමේ ඉස්කෝලයට වෙලාවට යන්න කවදාවත් හැකියාවක් තිබුණේ නැත. ඉස්කෝලේ ඇරිලා කොල්ලා කෙලින්ම ගියේ තාත්තාගේ කුඹුරටය. ඒත් කොල්ලා ලංකාවෙන් එකය. මේ යුගයක ඇත්තම බුද්ධිමය ඵලයක් ගැන කියන කතාවක් බව අද සටහන් කර තබමු.
LSN Sri Lanka ·

ඇහැටුවැව යනු පහසු ජීවිතයකට ඉඩක් නැති, නියඟයෙන් බැටකන, වල් අලි තර්ජන මැද දිනපතා ජීවිතය සමඟ පොරබදින දුෂ්කර ගම්මානයකි. එහෙත් එවැනි කටුක පරිසරයකින්ද සුගන්ධවත් මලක් පිපී සමස්ත රටටම සුවඳ විහිදුවාලිය හැකි බව ඇහැටුවැව ප්‍රාථමික ආදර්ශ විද්‍යාලයේ ඩබ්. බී. එම්. ධනෝජ් තීක්ෂණ වීරසේකර නම් පුංචි පුතා මුළු ලොවටම පසක් කර දී තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන් පළමුවැනියා ඔහුය. විශිෂ්ට ලෙස ලකුණු 193ක් ලබාගනිමින් ඔහු තැබූ මෙම ජයග්‍රහණය, හුදෙක් විභාග ලකුණු සංඛ්‍යාවකට එහා ගිය අතිශය සංවේදී මෙන්ම ආදර්ශමත් කතාවකි. මේ සටහන තැබෙන්නේත් ඒ නිසාම බව ලියා තබමි.

ධනෝජ්ට එය අම්මලාගේ විභාගය නොවීය

ශිෂ්‍යත්ව විභාගය බොහෝ දෙනා "අම්මලාගේ විභාගය" ලෙස හැඳින්වුවද, ධනෝජ්ට තම මව අහිමි වන්නේ ඔහු පෙර පාසල් යන වියේදීමය. එතැන් පටන් ඔහුට අම්මාගේ මෙන්ම පියාගේද ආදරය දෙමින් සෙවණැල්ලක් සේ රැකබලා ගත්තේ ඔහුගේ පියා වන ඩබ්. බී. එම්. සිසිර කුමාර ය.

ධනෝජ්ගේ හදවතේ සිදුරු දෙකක් පැවතීම නිසා කුරුණෑගල හද සුව මැදුරෙන් දිගටම ප්‍රතිකාර ලැබීමට සිදුවීමත්, නිවසේ සිටින ආබාධිත සීයා සහ ආච්චී රැකබලා ගැනීමට සිදුවීමත් නිසා මේ කුඩා පවුලට මුහුණ දීමට සිදු වූ ආර්ථික හා සමාජීය බාධක සුළුපටු නැත. එසේ වුවද, තම අක්කාද මීට පෙර ශිෂ්‍යත්වයෙන් ලකුණු 188ක් ලබා ගනිමින් කුරුණෑගල ජනප්‍රිය පාසලකට තේරී පත් වූ අයුරින්ම, ධනෝජ්ද සියලු දුෂ්කරතා ඉදිරියේ නොසැලී ඉදිරියටම ගියේය.

තමන්ට මුහුණ දීමට සිදු වූ අනපේක්ෂිත දුෂ්කරතා සහ පීතෘ සෙනෙහස ගැන සිසිර කුමාර මා සමග කතා කළේය. ඔහුගේ හදවත පිරි ඉතිරී තිබිණි.

"මගේ පුතු පැටියගේ අම්මා නැති වුණේ එයා පෙර පාසල් යන කාලයේදීමයි. මගේ අම්මයි තාත්තයි දෙන්නත් ඉන්නේ ලෙඩ ඇඳේ. මට තව දුවෙක් ඉන්නවා. එයත් ලකුණු 188ක් ලබාගෙන දැන් කුරුණෑගල ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබනවා. අම්මා නැහැ කියලා පුතා කවදාවත් දඩබරකම් කළේ නැහැ. මම මහා ලොකුවට මනෝ විද්‍යාව දන්නේ නැහැ. අම්මා අහිමි වුණාම දරුවා මගේ තුරුලෙම තියා ගත්තා ඇර මං මහා ලොකු දේවල් කළේ නෑ...“ ඔහු කීවේය.
ටියුෂන් නෑ...

කිසිදු උපකාරක පන්තියකට සහභාගී නොවූ ධනෝජ්, තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත්තේ පාසලෙන් ලැබුණු දැනුමෙන් පමණි.

"මට ගොඩාක් සතුටුයි මේ ජයග්‍රහණය ගැන. මං ටියුෂන් පන්ති ගියේ නැහැ. ඉස්කෝලේ ටීචර්ලා තමයි මට ඉගැන්නුවේ. ඉස්කෝලෙත් යන ගමන් මං තාත්තගේ කුඹුරු වැඩවලටත් උදව් වුණා. ඉතින් මට මොන ටියුෂන්ද... ඉස්කෝලෙන් ඉගෙන ගත්තා. දෙන වැඩ ටික හරියටම කළා," ධනෝජ් පුතා පැවසුවේය.

පාසල් හැරෙන වේලාවට පොතපතේ වැඩ අවසන් කරන ඔහු, පියාට කුඹුරු වැඩවලට සහ මෑ වගාවට උදව් කළේය. පියා බීජ සිටුවීමට වළවල් කපන විට ඒ තුළ බීජ සිටුවූයේත්, මෑ වගාවට එන මොණරුන් එළවමින් වෙලේ රැඳී සිටියේත්, අලි තර්ජන මැද රාත්‍රියට පැල් රැකින්නට තාත්තාගේ තනියට ගියේත් මේ පුංචි පුතාය. ශිෂ්‍යත්ව ප්‍රතිඵල පැමිණි මොහොතේ පවා ඔහු සිටියේ කුඹුරේය.

පාන්දර කාලයට පාරේ වල් අලි ගැවසෙන බැවින් දිනපතාම පාසලට ප්‍රමාද වී යාමට සිදු වූ බව ධනෝජ් මතක් කළේ මෙලෙසිනි.

"අපිට උදේම ඉස්කෝලෙට යන්න විදිහක් නැහැ. හැමදාම ඉස්කෝලෙට ගියේ ප්‍රමාද වෙලා. ඒ ඉස්කෝලෙට යන පාරේ පාන්දරට වල් අලි ඉන්නවා. අපි ඉස්කෝලේ ටීචර් දැනුවත් කරලා ටිකක් ප්‍රමාද වෙලා තමයි ගියේ."

එසේ වුවද, එම කිසිදු බාධාවක් ඔහුගේ අනාගත සිහිනය අතහැරීමට හේතුවක් වූයේ නැත.

ටීචර් අම්මා

ධනෝජ්ගේ ජයග්‍රහණය පිටුපස සිටි පන්තිභාර ගුරුතුමිය වන ඩබ්. ඒ. ආශා කුමුදුනී ද ඒ සුන්දර මතකය ආවර්ජනය කළාය.

"ධනෝජ් පුතා දක්ෂ දරුවෙක්. එයා උපතින් ගෙනාව සහජ හැකියාවන් තිබුණා. ගැටලු කරදර ගොඩක් මැද්දෙ වුණත් තාත්තගෙ පිහිට ආරක්ෂාව ඇතුව උත්සාහවන්තව කටයුතු කළා. අපි මේ දරුවා වෙනුවෙන් අප්‍රමාණව කැපවුණා. සමහර රාත්‍රීන්වලට පවා පුතා මම ගෙදර නතර කරගත්තා. මගේ දරුවෝ දෙන්නත් විභාගය පාස්. ඒත් ධනෝජ් තීක්ෂණ පුතාගේ ඉහළ ලකුණ ගැන මට තියෙන්නේ අප්‍රමාණ සතුටක්," ඇයගේ දෙනෙත් බොඳවනු දුටුවෙමි.

සිය නිවුන් දරුවන් ද මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි බව ඇය කීවාය. සිය දරුවන්ගේ හොඳම යාලුවා වූ ධනෝජ් ද තමන්ගේ දරුවෙක් ලෙස සිතා ආරක්ෂාව මගපෙන්වීම ලබා දීමට මේ දයාබරවරිය කටයුතු කර තිබිණි. දරුවන් “ ටීචර් අම්මලා “ කියන්නේ මේ වගේ ගුරුවරියන්ට බව ලියා තැබිය යුතුය.

එමෙන්ම විද්‍යාලයේ විදුහල්පති ඩී. එම්. වසන්ත දිසානායකද අභියෝග මැද ලැබූ මෙම ජයග්‍රහණය ගැන අදහස් දැක්වීය.

ලොකු රස්සාවක් කරනවා... හොඳ මිනිහෙක් වෙනවා..

"ධනෝජ් තීක්ෂණ පුතා නිතරම ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පවත්වපු අමතර විභාගවලින් හැමදාම වැඩිපුර ලකුණු ගත්ත පුතෙක්. අපි ලොකු බලාපොරොත්තුවකින් තමයි හිටියේ මේ පුතා ගැන. ඒ බලාපොරොත්තුව අද ඉෂ්ට වුණා. පාසලේ දරුවෝ 117ක් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා. එයින් 58 දෙනෙක් කඩඉම් ලකුණු සමත් වී තිබෙනවා. මෙය පන්තිභාර ගුරුවරු, පාසලේ විදුහල්පතිවරු, දෙමව්පියන් සහ සියලුම පාසල් ප්‍රජාවගේ සාමූහික උත්සාහයේ ප්‍රතිඵලයක්,"... විදුහල්පතිතුමා සඳහන් කළේය.
ධනෝජ්ගේ පියා ඔහුට නිතරම කියා දුන්නේ හොඳින් ඉගෙනගෙන ලොකු රැකියාවක් කරනවා මෙන්ම සමාජයට හොඳ මනුස්සයෙකු වන ලෙසය.

"තාත්තා මට හැම වෙලේම කියනවා ඉගෙනගෙන ලොකු රස්සාවක් කරන්න කියලා. ඒ වගේම දවසක හොඳ මනුස්සයෙක් වෙන්න කියලා," ධනෝජ් පුතා කීවේය. ඔහු තමන්ට අත්වැලක් වූ හැමෝටම ස්තුති කළේය.

"මගේ තාත්තා, මගේ අක්කා, පන්තිභාර ටීචර් සහ පාසලේ සියලුම ගුරුවරුන්, විදුහල්පතිතුමාත් ආදරෙන් මතක් කරලනාව. ඒ අයට ස්තුතිවන්ත වෙනවා. ඒ හැමෝම හින්දා තමයි මම ගොඩක් හොඳට පාස් උනේ.“

ධනෝජ් තීක්ෂණගේ ලකුණු 193 යනු හුදෙක් සහතික පත්‍රයක සටහන් වූ සංඛ්‍යාවක් පමණක් නොවේ. එය පිය සෙනෙහසේ මහිමය, ගුරුවරුන්ගේ අප්‍රතිහ කැපවීම, පාසල් ප්‍රජාවගේ සාමූහික ප්‍රයත්නය සහ අභියෝග හමුවේ නොසැලෙන පුංචි දරුවෙකුගේ නොපසුබස්නා උත්සාහයේ අභිමානවත් සංකේතයයි. ඇහැටුවැව වියළි බිමේ පිපුණු ඒ පුංචි මල, ඉදිරියටත් මුළු රටටම සුවඳ හමන දැවැන්ත වෘක්ෂයක් වනු නොඅනුමානය.