මෙට්‍රෝ නැවතුම් වටා වාහන ගාල් හදන්න – පෞද්ගලික ඉඩම් සහ සාප්පු සංකීර්ණ වාහන නැවතුම් වැඩේට එක්කර ගන්න සැලසුම් කරනවා
පාරවල් හැදීමෙන් පමණක් රථවාහන ප්‍රශ්නය විසඳන්න බෑ – පෞද්ගලික වාහනවලින් එන පිරිස මෙට්‍රෝ පොදු ප්‍රවාහනයට ගන්න ඒකාබද්ධ සැලැස්මක් – ඇමති බිමල් පාර්ලිමේන්තුවේදී කියයි
LSN Sri Lanka ·
කොළඹ නගරයට පෞද්ගලික වාහනවලින් පැමිණෙන ජනතාව පොදු ප්‍රවාහන සේවාවට ආකර්ෂණය කරගැනීම සඳහා මෙට්‍රෝ බස් නැවතුම් ආශ්‍රිතව වාහනය නවතා පොදු ප්‍රවාහනයට මාරුවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙට්‍රෝ බස් සේවාව සාර්ථක කරගැනීමට නම් පෞද්ගලික වාහනයකින් පැමිණෙන මගියාට සිය වාහනය මෙට්‍රෝ නැවතුමක් ආසන්නයේ ආරක්ෂිතව නවතා, එතැන් සිට පොදු ප්‍රවාහනයෙන් ගමන් කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ සඳහා රජයේ ඉඩම් පමණක් නොව මෙට්‍රෝ නැවතුම් ආසන්නයේ පිහිටි පෞද්ගලික ඉඩම් සහ ව්‍යාපාරික ස්ථානවල වාහන ගාල්ද භාවිතයට ගැනීමේ හැකියාව සොයා බැලිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය. ඔහු සියලුම මන්ත්‍රීවරුන්ට දන්වා සිටියේ මේ සේවාව පහසු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කැරගැනීම සඳහා දායකත්වය ලබා දෙන ලෙසය.

විශේෂයෙන් කොළඹ නගරයේ විශාල ඉඩම් ප්‍රමාණයක් සාප්පු සංකීර්ණ සහ වෙනත් පෞද්ගලික ව්‍යාපාරික ආයතන සතුව පවතින බැවින්, එම ආයතනවල වාහන ගාල් උපරිම ලෙස භාවිත නොවන වේලාවන්හිදී ගාස්තුවක් අයකර මහජනතාවට විවෘත කිරීමේ ක්‍රමවේදයක් ඇති කළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

එමගින් පෞද්ගලික වාහනයකින් මෙට්‍රෝ නැවතුමක් දක්වා පැමිණ, වාහනය එහි නවතා ඉතිරි ගමන මෙට්‍රෝ බස් රථයකින් සිදුකිරීමට මගියාට හැකි වනු ඇත.

මෙය ජාත්‍යන්තරව Park and Ride ලෙස හැඳින්වෙන සංකල්පයට සමාන ප්‍රවේශයකි.

කොළඹ මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ මූලික අරමුණ දැනටමත් පොදු ප්‍රවාහනය භාවිත කරන මගීන් එක් බස් සේවාවකින් තවත් බස් සේවාවකට මාරු කිරීම නොව, පෞද්ගලික මෝටර් රථ සහ යතුරුපැදි භාවිත කරන ජනතාව පොදු ප්‍රවාහනය වෙත ආකර්ෂණය කරගැනීම බව අමාත්‍යවරයා මීට පෙරද අවධාරණය කර තිබිණි.

ඒ සඳහා කොළඹ මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය යටතේ නැවතුම් 240ක් පමණ හඳුනාගෙන ඇති අතර ඒවා ආශ්‍රිතව වාහන ගාල් පහසුකම් ඇති කිරීම සඳහා පළාත් පාලන ආයතන, පෞද්ගලික ව්‍යාපාර සහ ඉඩම් හිමියන් සම්බන්ධ කරගැනීම රජයේ සැලසුම වී තිබේ.

ලියාපදිංචි වාහන ගාල්, ඒවා පිහිටි ස්ථාන සහ ඒ මොහොතේ පවතින හිස් ඉඩකඩ පිළිබඳ තොරතුරු මගීන්ට ලබාගත හැකි ජංගම දුරකථන යෙදුමක් හඳුන්වාදීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

එමගින් නිවසින් පිටත්වීමට පෙර තමන් ගමන් කරන මෙට්‍රෝ නැවතුම ආසන්නයේ වාහනය නවතා තැබීමට ඉඩ තිබේදැයි දැනගැනීමටත්, එක් ස්ථානයක් පිරී ඇත්නම් විකල්ප වාහන ගාලක් තෝරාගැනීමටත් මගියාට හැකි වනු ඇත.

මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව වැඩි කිරීම පමණක් මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ප්‍රමාණවත් නොවන බවද අමාත්‍යවරයාගේ අද ප්‍රකාශයේ මූලික අදහස විය.

“පාරවල් විතරක් හදලා බෑ” යැයි සඳහන් කළ අමාත්‍යවරයා, රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුව මාර්ග සංවර්ධනය, පොදු ප්‍රවාහනය, වාහන ගාල්, පළාත් පාලන ආයතන සහ පෞද්ගලික අංශය එකට සම්බන්ධ වන සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විය යුතු බව අවධාරණය කළේය.

ඒ අනුව රජයේ නව ප්‍රවාහන ප්‍රවේශයේ අරමුණ වන්නේ කොළඹට තවත් වාහන ඇතුළු කරගැනීමට පාරවල් පුළුල් කිරීම පමණක් නොව, පෞද්ගලික වාහනය නගරයෙන් පිටත හෝ මෙට්‍රෝ නැවතුමක් ආසන්නයේ නවතා මගියා පොදු ප්‍රවාහනය වෙත මාරු කිරීමේ පුරුද්දක් ඇති කිරීමය.