ඉන්දීය ආරක්ෂක ඇමතිගේ සංචාරයේදී ගිවිසුම් තුනක් හුවමාරු වෙනවා – අලුත් ආරක්ෂක ගිවිසුමක් නෑ – විජිත හේරත් කියයි...
ශිෂ්‍ය භට හුවමාරුවක් – ජාතික ආරක්ෂක විද්‍යාල දෙක අතර සහයෝගිතාවක් – ඉන්දියාවෙන් දුන් ගුවන් ආරක්ෂක අවි 06ක් නොමිලේ නඩත්තු කිරීමටත් එකඟතාවක්...
LSN Sri Lanka ·

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ගිවිසුම් තුනක් හුවමාරු කරගැනීමට නියමිත වුවද, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට බලපාන නව ආරක්ෂක ගිවිසුමකට එළඹීමක් සිදු නොවන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (08) පැවසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි. දශක ගණනාවකට පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයකු ශ්‍රී ලංකාවට පැමිණීමේදී ආරක්ෂාව හෝ වෙනත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් නව ද්විපාර්ශ්වික එකඟතාවලට එළඹෙන්නේදැයි මාධ්‍ය ඇමතිවරයාගෙන් විමසුවේය.

එහිදී ප්‍රකාශයක් කළ ඇමතිවරයා මෙම සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට බලපාන ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන බවට විවිධ අදහස් පළවී තිබුණද එවැනි කිසිදු ගිවිසුමක් නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

“ආරක්ෂාවට බලපාන ගිවිසුම් අත්සන් කරනවා කියලා මාධ්‍ය යම් යම් ආකාරයට කතා කරලා තිබුණා. එහෙම කිසිවක් නෑ,” යැයි ඔහු පැවසීය.

කෙසේ වෙතත් සංචාරය අතරතුර ගිවිසුම් හෝ අවබෝධතා තුනක් හුවමාරු කරගැනීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යවරයා අනාවරණය කළේය.

ඉන් පළමුවැන්න ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ශිෂ්‍ය භට කණ්ඩායම් අතර ද්විපාර්ශ්වික හුවමාරු වැඩසටහනක් සම්බන්ධයෙනි.

දෙවැන්න ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය සහ නවදිල්ලියේ ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලය අතර අන්‍යෝන්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ දැනුම බෙදාහදා ගැනීම සම්බන්ධයෙනි.

තෙවැනි එකඟතාව ශ්‍රී ලංකාව සතුව පවතින ඉන්දියාවෙන් ලැබුණු ගුවන් ආරක්ෂක අවි පද්ධති කිහිපයක නඩත්තු කටයුතු සම්බන්ධයෙන් බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

2000–2006 කාලය තුළ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ආධාර ලෙස මිලිමීටර් 40 L/70 ගුවන් ආරක්ෂක අවි පද්ධති ලබාදී තිබූ බවත්, එම අවි 24න් 18ක නඩත්තු කටයුතු ඉන්දියාව විසින් නොමිලේ සිදුකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉතිරි අවි පද්ධති හයේ නඩත්තු කටයුතුද නොමිලේ සිදුකර දීම සඳහා ඉන්දියාවේ බැංගලෝර්හි Bharat Electronics Limited සමාගම සමඟ එකඟතාවකට එළඹීමට නියමිත බව ඔහු පැවසීය.

මෙම ගිවිසුම් තුන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවේදී හුවමාරු කරගැනීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ ආරක්ෂක කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම පමණක් නොවන බවද විජිත හේරත් අමාත්‍යවරයා පැවසීය.

රාජ්නාත් සිං ඉන්දීය දේශපාලනයේ පරිණත නායකයකු බව සඳහන් කළ අමාත්‍යවරයා, සංචාරයේ ප්‍රධාන අරමුණ දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම බව පැවසීය.

සංචාරය අතරතුර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එම සාකච්ඡාවලදී විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදහස් හුවමාරු විය හැකි අතර, ඒවායේ අන්තර්ගතය පසුව අනාවරණය කරන බවද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.