LSN News › Sri Lanka

ජිනීවා වාර්තාව ලංකාවට කියන්නේ කුමක්ද?

LSN Sri Lanka · 8 September 2026

ජිනීවා වාර්තාව ලංකාවට කියන්නේ කුමක්ද?

ආණ්ඩුවේ සාධනීය පියවර පිළිගනී – එහෙත් ප්‍රතිසංස්කරණවල වේගය අඩුවී ඇතැයි කියයි – ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, අතුරුදන්වූවන්, ඉඩම්, වධහිංසා සහ යුද සමයේ වගවීම යළි ප්‍රධාන ප්‍රශ්න අතරට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාව අද සැසියේ දී ප්‍රකාශයට පත් විය.කවුන්සිලයේ අවධානය යොමු කළ යුතු මානව හිමිකම් තත්වයන් පිළිබඳව මහ කොමසාරිස්වරිය සහ මහලේකම්වරිය විසින් කරන ලද වාර්තා සහ යාවත්කාලීන කිරීම් ආවරණය කරන කවුන්සිලයේ න්‍යාය පත්‍රයේ 2 වන අයිතමය යටතේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ කොමසාරිස් ආවා ඩබෝ විසින් ලිඛිත යාවත්කාලීන කිරීම ඉදිරිපත් කරන ලදී.

එහි එක් ප්‍රධාන පණිවුඩයක් ලබා දී තිබේ. ඒ, රජය ලබා දුන් පොරොන්දු සහ ඒවා ක්‍රියාත්මක කිරීම අතර පරතරය තවදුරටත් විශාල වීමට ඉඩ නොදිය යුතු බවය.

A/HRC/63/18 අංක දරන මෙම වාර්තාව සැප්තැම්බර් 3 වැනිදා නිකුත් කර තිබේ. එය සකස් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසිනි. වාර්තාව ප්‍රධාන වශයෙන් 2025 ඔක්තෝබර් සිට 2026 ජූලි දක්වා ශ්‍රී ලංකාවේ තත්ත්වය විමසා බලයි.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ සැලකිය යුතු ප්‍රතිසංස්කරණ ගණනාවක් පිළිබඳ පොරොන්දු සමඟ බව වාර්තාව සිහිපත් කරයි.

• ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ඒ අතර විය.

• දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම තවත් පොරොන්දුවකි.

• ස්වාධීන රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමද ඊට ඇතුළත්ය.

• පාස්කු ඉරිදා ප්‍රහාර සහ තවත් ප්‍රකට අපරාධ සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීමද ආණ්ඩුවේ ප්‍රකාශිත අරමුණක් විය.

එහෙත් මේ පොරොන්දු බොහොමයක් තවමත් අවශ්‍ය නීතිමය සහ ආයතනික වෙනස්කම් බවට පත්වී නැති බව වාර්තාවේ මූලික නිගමනයකි.

ආණ්ඩුව කළ දේත් ජිනීවා වාර්තාව පිළිගනී

වාර්තාව වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සියල්ල ප්‍රතික්ෂේප කරන්නේ නැත. දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග කිහිපයක් එය සාධනීය ලෙස සටහන් කරයි. ප්‍රකට දේශපාලන ඝාතන, බලහත්කාර අතුරුදන් කිරීම් සහ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් යළි ආරම්භ කළ විමර්ශනද එහි සඳහන් වේ. පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සැලකිය යුතු විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග සිදුවී ඇති බව වාර්තාව විශේෂයෙන් පිළිගනී. ජනාධිපතිවරයා වාර්ගික සහ ආගමික බෙදීම් මත පදනම් වූ දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමද වාර්තාවේ අවධානයට ලක්ව ඇත. එය පෙර පැවැති ආණ්ඩුවල ප්‍රවේශයෙන් කැපී පෙනෙන වෙනසක් ලෙස වාර්තාව දකී.

එහෙත් ප්‍රශ්නය ඇත්තේ ඊළඟ පියවරේය.

මෙම දේශපාලන පණිවුඩ තවමත් ප්‍රමාණවත් නීතිමය සහ ආයතනික වෙනස්කම් බවට පත්වී නැති බව මහ කොමසාරිස් කාර්යාලය කියයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත් ප්‍රධාන ප්‍රශ්නයක්

ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට පොරොන්දු විය. එහෙත් එය තවමත් භාවිත වන බව වාර්තාව පෙන්වා දෙයි. 2025 වසරේ මෙම පනත යටතේ රඳවා තැබීම් 46ක් පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි. 2026 මාර්තු වන විට තවත් එවැනි සිද්ධි 12ක් වාර්තා වී ඇතැයි වාර්තාව සලකුණු කරයි.

පවතින පනත වෙනුවට යෝජනා කර ඇති නව නීතිය සම්බන්ධයෙන්ද මහ කොමසාරිස් කාර්යාලය බරපතළ ගැටලු මතු කරයි. එමගින් පුළුල් අත්අඩංගුවට ගැනීමේ බලතල සහ මූලික නිදහස සීමා කිරීමේ අවදානම දිගටම පැවතිය හැකි බව එහි අදහසය.

එබැවින් දැනට පවතින පනත භාවිත කිරීම නතර කර එය කඩිනමින් අහෝසි කරන ලෙස නිර්දේශ කර තිබේ.

ඒ වෙනුවට ගෙනෙන නීතිය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවද අවධාරණය කරයි.

අත්අඩංගුවේ මරණ සහ වධහිංසා

පොලිස් සහ බන්ධනාගාර අත්අඩංගුවේ සිදුවන මරණ පිළිබඳ වාර්තාව විශේෂ අවධානයක් යොමු කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දත්ත අනුව

• 2025දී අත්අඩංගුවේ සිදුවූ මරණ 18ක් වාර්තා වී තිබේ.

• 2026 අප්‍රේල් වන විට තවත් මරණ තුනක් වාර්තා වී ඇත.

• 2025දී වධහිංසා සහ වෙනත් අයහපත් සැලකීම් පිළිබඳ පැමිණිලි 602ක්ද වාර්තා වී තිබේ.

• 2026 අප්‍රේල් වන විට එවැනි සිද්ධි 138ක් වාර්තා වී ඇත.

• අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තැබීම් පිළිබඳ 2025දී වාර්තා වූ සිද්ධි සංඛ්‍යාව 1,125කි.

මේ සංඛ්‍යා ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් තවමත් පවතින බරපතළ ව්‍යුහාත්මක ප්‍රශ්නයක් පෙන්වන බව වාර්තාවේ අදහසය.

උතුරු නැගෙනහිර නිරීක්ෂණ සහ බියගැන්වීම්

මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ යුද්ධයෙන් පීඩාවට පත්වූවන් නිරීක්ෂණයට ලක් කිරීම සම්බන්ධයෙන්ද වාර්තාව දැඩි අවධානය යොමු කරයි.විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල එවැනි සිද්ධි වාර්තා වී ඇති බව එහි සඳහන්ය.

පුද්ගලයන්ගේ ජිනීවා සංචාර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ක්‍රියාවලිය සමඟ ඇති සබඳතා, විරෝධතාවලට සහ සැමරුම්වලට සහභාගී වීම පිළිබඳ ප්‍රශ්න කර ඇති බවටද තොරතුරු ලැබී ඇති බවත් එවැනි ක්‍රියා සංහිඳියාව ගොඩනැගීමට බාධාවක් බවත් වාර්තාවේ නිගමනයයි.

එබැවින් මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, යුද්ධයෙන් පීඩාවට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල් නිරීක්ෂණය කිරීම, බියගැන්වීම සහ පළිගැනීම් වහාම නතර කරන ලෙස ආරක්ෂක සහ බුද්ධි අංශවලට පැහැදිලි නියෝග නිකුත් කරන ලෙස නිර්දේශ කර තිබේ.

ඉඩම් ප්‍රශ්නය තවම අවසන් නැහැ

උතුරු සහ නැගෙනහිර ඉඩම් ප්‍රශ්නයද ජිනීවා වාර්තාවේ ප්‍රධාන කරුණකි. කෙසේ වෙතත් 2025දී හමුදාව සතුව තිබූ අක්කර 1,000කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් නිදහස් කළ බව ද වාර්තාව සඳහන් කරයි. එය සාධනීය පියවරක් ලෙස කවුන්සිලය දකි.

එහෙත් තවත් අක්කර දහස් ගණනක් නිදහස් කරන ලෙස ජනතාව ඉල්ලා සිටින බවද වාර්තාව කියයි. එබැවින් හමුදාව සතුව පවතින ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම සඳහා කාලසීමාවක් සහිත පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බව එහි නිර්දේශයයි. නව ඉඩම් අත්පත් කරගැනීම් වැළැක්විය යුතු බවද එම වාර්තාව කියයි.

අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නය

බලහත්කාරයෙන් අතුරුදන්වූවන් පිළිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන දණ්ඩමුක්තියේ ප්‍රධාන ලක්ෂණයක් ලෙස වාර්තාව හඳුන්වයි.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට පැමිණිලි 11,000ක් පමණ ලැබී තිබේ. ඉන් 5,000ක විමර්ශන මේ වසරේ අවසන් කිරීමටත් ඉතිරිය වසර දෙකක් තුළ අවසන් කිරීමටත් රජය සැලසුම් කර ඇති බව වාර්තාව සඳහන් කරයි.

එහෙත් ලිපිගොනු අවසන් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව මහ කොමසාරිස් කාර්යාලයේ ස්ථාවරයයි. “අතුරුදන් වූ පුද්ගලයාට සිදුවූයේ කුමක්දැයි සොයාගත යුතුය. සාක්ෂි ආරක්ෂා කළ යුතුය. අදාළ වගකිවයුත්තන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද එම ක්‍රියාවලිය මඟ පෑදිය යුතුය.“ වාර්තාවේ දැක්වේ.

චෙම්මනි සමූහ මිනීවළ

යාපනයේ චෙම්මනි-සිත්තුපාත්ති සමූහ මිනීවළ පිළිබඳවද වාර්තාවේ විශේෂ අවධානයක් යොමු වී ඇත. 2026 ජූලි අග වන විට එහි කැණීම්වලින් ළමුන් ඇතුළු පුද්ගලයන් 477කට වැඩි සංඛ්‍යාවකට අදාළ අස්ථි කොටස් හමුවී තිබූ බව වාර්තාව සඳහන් කරයි.

මෙම පරීක්ෂණ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකිරීම සඳහා විදේශීය අධිකරණ වෛද්‍ය සහ තාක්ෂණික සහාය ලබාගන්නා ලෙස මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටී. ඒ සමඟ අපක්ෂපාතී අපරාධ විමර්ශනයක්ද සිදුවිය යුතු බව එහි ස්ථාවරයයි.

යුද්ධය පිළිබඳ ජිනීවා ස්ථාවරය වෙනස් වී නැහැ

වාර්තාවේ වඩාත් දේශපාලනිකව සංවේදී කොටස ඇත්තේ මෙතැනය.

යුද්ධය පැවැති කාලයේ සියලු පාර්ශ්ව විසින් සිදුකළ බවට චෝදනා එල්ල වන ජාත්‍යන්තර අපරාධ සහ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් වගවීමක් තවමත් සිදුවී නැති බව වාර්තාව කියයි. මෙහිදී රාජ්‍ය ආරක්ෂක අංශ පමණක් නොව එල්ටීටීඊ සංවිධානයද වාර්තාවේ විෂය පථයට ඇතුළත්ය.

මේ සම්බන්ධයෙන් දේශීය ක්‍රියාවලියක් තුළ ප්‍රමාණවත් ප්‍රගතියක් නොපෙනෙන බව මහ කොමසාරිස් කාර්යාලයේ තක්සේරුවයි. එය විශේෂ අධිකරණ ක්‍රමවේදයක් සහ ස්වාධීන විශේෂ අභිචෝදකයකු පිළිබඳ සලකා බලන ලෙස මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී. ඒ සඳහා ජාත්‍යන්තර සහාය ලබාගන්නා ලෙසද යෝජනා කරයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටුවූ රෝම ප්‍රඥප්තියට එක්වීම සලකා බලන ලෙසද ශ්‍රී ලංකාවට නිර්දේශ කර ඇත.

විදේශ රටවලටත් නිර්දේශ

මෙම වාර්තාවේ නිර්දේශ ශ්‍රී ලංකා ආණ්ඩුවට පමණක් සීමා නොවේ. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලටද නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ සිදුවූ බවට චෝදනා එල්ල වන ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් තම රටවල නීති යටතේ විමර්ශන සහ නඩු පැවරීම් සඳහා සහයෝගය දක්වන ලෙස කවුන්සිලය ඉල්ලා සිටී.

බරපතළ මානව හිමිකම් හෝ මානුෂීය නීති උල්ලංඝනය කිරීම්වලට වගකිවයුතු බවට විශ්වසනීය චෝදනා ඇති පුද්ගලයන්ට එරෙහිව ඉලක්කගත සම්බාධක සලකා බලන ලෙසද නිර්දේශ කරයි. වත්කම් අත්හිටුවීම සහ සංචාරක තහනම් ඊට ඇතුළත් විය හැකිය.

ආර්ථික අර්බුදයත් වාර්තාවේ

මෙය යුද්ධය සහ මානව හිමිකම් ගැන පමණක් කතා කරන වාර්තාවක්ද නොවේ. දිට්වා සුළි කුණාටුවෙන් රටට සිදුවූ විනාශය එය සවිස්තරව සටහන් කරයි. කුණාටුවෙන් දිස්ත්‍රික්ක 25ම පුද්ගලයන් මිලියන 2.2කට බලපෑම් ඇතිවූ බව එහි සඳහන් වේ.

2026 අප්‍රේල් 17 වන විට මරණ 687ක් සහ අතුරුදන්වීම් 147ක් රජය වාර්තා කර තිබූ බවද කියයි. භෞතික හානිය ඩොලර් බිලියන දෙකක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. ආර්ථික අලාභය ඩොලර් බිලියන 1.3ක් ලෙස වාර්තාව දක්වයි. ප්‍රතිසංස්කරණ සහ නැවත ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන 3.4ක් අවශ්‍ය බවට වාර්තාවේ ඇස්තමේන්තු කර ඇත.

බටහිර ආසියාවේ යුද ගැටුම් නිසා බලශක්ති, ආහාර සහ පොහොර මිල ඉහළ යාමේ අවදානමද වාර්තාව පිළිගනී. ආණ්ඩුව බාහිර කම්පන මධ්‍යයේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇති බවද එය සටහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික සහ ස්වාභාවික ආපදා පීඩනය ජිනීවා වාර්තාව නොසලකා හැර නැත.

අවසානයේ ජිනීවා කියන්නේ කුමක්ද?

මෙම පිටු 16ක වාර්තාවේ හරය එක් වාක්‍යයකට ගෙන ආ හැකිය.

වත්මන් ආණ්ඩුවට වෙනසක් කිරීමට ලැබුණු අවස්ථාව තවම අහිමි වී නැත. එහෙත් එම අවස්ථාව අහිමි වීමේ අවදානම මතුවෙමින් තිබේ.

ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග වාර්තාව පිළිගනී.

• පාස්කු ප්‍රහාර විමර්ශනයේ ප්‍රගතිය එයට උදාහරණයකි

• දූෂණයට එරෙහි ක්‍රියාමාර්ගද තවත් උදාහරණයකි.

• වාර්ගික සහ ආගමික බෙදීම් ප්‍රතික්ෂේප කරන දේශපාලන පණිවුඩයද පිළිගෙන තිබේ

එහෙත් ජිනීවා ඉල්ලන්නේ ප්‍රකාශවලට වඩා ක්‍රියාමාර්ගය.

• ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.

• අතුරුදන්වූවන් පිළිබඳ විශ්වසනීය පිළිතුරු ලබාදීම.

• ජනතාවගේ ඉඩම් ආපසු ලබාදීම.

• වධහිංසා සහ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් වැළැක්වීම.

• මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් බියගැන්වීම නතර කිරීම.

• ස්වාධීන අභිචෝදක ක්‍රමයක් ඇති කිරීම.

• යුද සමයේ අපරාධ පිළිබඳ විශ්වසනීය වගවීමක් ඇති කිරීම.

මේවා අලුත් ඉල්ලීම් නොවේ. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව වටා ගොඩනැගී ඇති මානව හිමිකම් සංවාදයේම ප්‍රධාන ප්‍රශ්න වේ. එහෙත් මෙවර වෙනසක් තිබේ. ජිනීවා වාර්තාව මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ වෙනසක් පොරොන්දු වී බලයට පැමිණි ආණ්ඩුවක් ඉදිරියේය.

එබැවින් මෙවර ශ්‍රී ලංකාවට එල්ල වන ප්‍රධාන ප්‍රශ්නය අතීතය පිළිබඳ පමණක් නොවේ.

පොරොන්දු වූ වෙනස ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුවට හැකිද යන්නත් දැන් ජිනීවා විමසුමට ලක්ව තිබේ.