සිරිසේන ජනපතිගේ ජනාධිපති සමාව විසවී ගොස් ඥානසාර හිමි යළි හිරේ විලංගුවේ වැටෙන්නේ ඇයි?...
විධායක ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති සමාව දීමේ බලය කොතරම් පුළුල් වුවත්, එම බලයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, මූලික අයිතිවාසිකම්වලට සහ නීතියේ ආධිපත්‍යයට ඉහළින් පිහිටි බලයක් නොවන බවට ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසය තුළ සටහන් වන වැදගත් අවස්ථාවක් ලෙස මෙම තීන්දුව ඉතිහාසගතවනු ඇත.
LSN Sri Lanka ·

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කරමින් අභියාචනාධිකරණය ලබා දුන් වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමෙන් උන්වහන්සේ නිදහස් කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 මැයි මාසයේ ලබා දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කර තිබේ.

මේ තීන්දුව සමඟ යළි අවධානයට ලක්වන්නේ ඥානසාර හිමියන්ට එරෙහිව පැවති අධිකරණයට අපහාස කිරීමේ නඩුව කුමක්ද, එවැනි බරපතළ දඬුවමක් නියම වූයේ ඇයි සහ එම දඬුවම ජනාධිපති සමාවකින් අවසන් වූයේ කෙසේද යන්නය.

එහි ආරම්භය සොයා යා යුත්තේ වසර දහයකටත් පෙර, 2016 ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයටය.

ප්‍රගීත්ගේ නඩුව අතරට පැමිණි ඥානසාර හිමි

එදින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් තිබුණේ 2010 ජනවාරි 24 වැනිදා අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩු කටයුත්තකි. එම අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සම්බන්ධයෙන් ද එහිදී කරුණු සලකා බැලෙමින් තිබිණි.

එදින නඩු කටයුතු අවසන් වීමෙන් පසුව ඥානසාර හිමියන් විවෘත අධිකරණය අමතා කතා කිරීමට පටන් ගෙන තිබිණි. අත්අඩංගුවේ සිටි බුද්ධි අංශ සාමාජිකයන් නිදහස් කළ යුතු බවට උන්වහන්සේ කරුණු දැක්වූ බව පසුව අධිකරණය හමුවේ අනාවරණය විය. එම හැසිරීම, භාවිත කළ වචන සහ අධිකරණ ක්‍රියාවලියට මැදිහත් වූ ආකාරය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතු විය.

හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මේ සිද්ධිය සුළුකොට සැලකුවේ නැත. ඥානසාර හිමියන්ගේ හැසිරීම අධිකරණයට අපහාස කිරීමක් වන්නේදැයි තීරණය කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ඔහු අභියාචනාධිකරණයට කරුණු වාර්තා කළේය.

ඥානසාර හිමියන් 2016 ජනවාරි 26 වැනිදා පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. පසුව එම කාරණයට ඇප ලැබුණද නීතිමය ක්‍රියාවලිය එතැනින් අවසන් වූයේ නැත.

එකම සිද්ධියෙන් මතු වූ නඩු දෙකක්

මෙහිදී වැදගත් වෙනසක් පැහැදිලි කළ යුතුය.

2016 ජනවාරි 25 සිද්ධියෙන් ඥානසාර හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දෙකක් මතු විය.

එකක් වූයේ අධිකරණය තුළ කළ ක්‍රියා සහ ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාදාමයයි. එය අභියාචනාධිකරණය හමුවේ විභාග විය.

අනෙක වූයේ අධිකරණ භූමියේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම සම්බන්ධ නඩුවයි. එය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනම විභාග වූ නඩුවකි.

එම දෙවැනි නඩුවෙන් ඥානසාර හිමියන්ට 2018 ජූනි මාසයේ මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම විය. පසුව හෝමාගම මහාධිකරණය වරදකරු කිරීම තහවුරු කළද එම සිරදඬුවම වසර පහකට අත්හිටුවනු ලැබීය.

එබැවින් අද කතා කෙරෙන වසර හයක සිරදඬුවම ලැබුණු නඩුව සහ සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමේ නඩුව එකම නඩුවක් නොවේ.

චෝදනා හතරක්

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය අභියාචනාධිකරණය හමුවේ ඉදිරියට ගියේ මේ අතරය.

2016 සැප්තැම්බර් මාසයේදී අධිකරණය චෝදනාවලට අදාළ කරුණු වඩාත් නිශ්චිතව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට උපදෙස් ලබා දුන්නේය. ඥානසාර හිමියන්ගේ පාර්ශ්වයෙන් මූලික විරෝධතාවක් ද ඉදිරිපත් විය. 2017 පෙබරවාරි 28 වැනිදා අභියාචනාධිකරණය එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කර චෝදනා පත්‍රය විවෘත අධිකරණයේ කියවීය.

ඉන්පසු දීර්ඝ නඩු විභාගයක් පැවැත්විණි.

අවසානයේ 2018 අගෝස්තු 8 වැනිදා අභියාචනාධිකරණය ඥානසාර හිමියන්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනා හතරටම උන්වහන්සේ වරදකරු කළේය.

තීන්දුව ලබා දුන්නේ එවකට අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඬුල්ලකි. විනිසුරු ශිරාන් ගුණරත්න එම තීන්දුවට එකඟ විය.

චෝදනා හතර සඳහා නියම කළ සිරදඬුවම්වල එකතුව වසර 19ක් විය. එහෙත් ඒවා එකවර ගෙවී යන ලෙස නියම කිරීම නිසා ඥානසාර හිමියන් සැබැවින්ම ගෙවිය යුතු සිරදඬුවම වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් බවට පත්විය.

අභියාචනාධිකරණය එහිදී අවධාරණය කළ මූලික කාරණය වූයේ රටේ අධිකරණ සහ විනිශ්චය ආයතන බියගැන්වීම්වලින් සහ අයුතු බලපෑම්වලින් නිදහස්ව පවත්වා ගැනීම අධිකරණයේ වගකීමක් බවය. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නිදහසේ සිදුවීමට එය අත්‍යවශ්‍ය බව අධිකරණයේ ස්ථාවරය විය.

ශ්‍රේෂ්ඨාධිකරණයත් දඬුවම වෙනස් කළේ නැත

ඥානසාර හිමියන් එම තීන්දුව පිළිගත්තේ නැත.

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට උන්වහන්සේ විශේෂ අභියාචනා අවසරයක් ඉල්ලා සිටියේය.

එහෙත් 2018 ඔක්තෝබර් 5 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව අභියාචනාධිකරණය විසින් ලබා දුන් වරදකරු කිරීම සහ වසර හයක සිරදඬුවම ක්‍රියාත්මකව පැවතිණි.

ඒ වනවිට අධිකරණ ක්‍රියාවලිය තුළින් ඥානසාර හිමියන්ට තිබූ අභියාචනා මාර්ගය ද අවසන්ව තිබිණි.

එතැනින් පසු සිදුවූයේ අධිකරණ ක්‍රියාවලියක් නොව විධායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බලයක් භාවිත කිරීමකි.

මෛත්‍රීගෙන් සමාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට වරදකරුවකුට සමාව දීමේ බලයක් තිබේ.

එම බලය භාවිත කරමින් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 මැයි 23 වැනිදා ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දුන්නේය.

ඒ වනවිට උන්වහන්සේ අභියාචනාධිකරණය විසින් නියම කළ වසර හයක සිරදඬුවම ගෙවමින් සිටියේය. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු සමාව පිළිබඳ ලිපිය අනුව ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කෙරිණි.

එහෙත් මේ සමාව ආරම්භයේ සිටම මතභේදාත්මක විය.

ඊට ප්‍රධාන හේතුව වූයේ සාමාන්‍ය අපරාධයක් සම්බන්ධයෙන් නොව, අධිකරණයේම ගෞරවය සහ එහි ක්‍රියාකාරීත්වය ආරක්ෂා කිරීම සඳහා අධිකරණය විසින් පනවා තිබූ දඬුවමක් විධායක බලය යොදා ඉවත් කිරීම සම්බන්ධයෙන් මතු වූ ව්‍යවස්ථාමය ප්‍රශ්නයයි.

සන්ධ්‍යා අධිකරණයට යයි

සන්ධ්‍යා එක්නැලිගොඩ මේ සමාවට මුල සිටම විරෝධය පළ කළාය. සමාව ලබා දීමට පෙර පවා ඇය ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ අධිකරණ ඇමැතිවරයා වෙත සිය විරෝධය දැනුම් දී තිබිණි.

සමාව ලබා දීමෙන් පසු ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ද 2019 ජූනි 20 වැනිදා තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. එය SC FR 256/2019 ලෙස ලියාපදිංචි විය.

ඔවුන් මතු කළ මූලික තර්කය සරලය.

ජනාධිපතිවරයාට සමාව දීමේ බලය තිබුණද, එම බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිටත පිහිටි අසීමිත බලයක් නොවන බව ඔවුහු කීහ. විශේෂයෙන් අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් අධිකරණය විසින් නියම කළ දඬුවමක් කිසිදු පැහැදිලි සාධාරණ හේතුවක් නොදක්වා ඉවත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට, නීතියේ ආධිපත්‍යයට සහ නීතිය ඉදිරියේ සමානාත්මතාවයට බලපාන බව ඔවුන්ගේ තර්කය විය.

නඩුව වසර ගණනාවක් විවිධ හේතු මත කල් ගියේය. කොවිඩ් වසංගත සමයේ අධිකරණ කටයුතු සීමා වීම ද ඒ අතර විය. අධිකරණයට අපහාස කිරීමේ මුල් නඩුවේ තීන්දුව ලබා දුන් විනිසුරු පද්මන් සූරසේන පසුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස මෙම පෙත්සම ඉදිරියට පැමිණි අවස්ථාවක නඩුවෙන් ඉවත් වීම ද සිදුවිය.

2023 ඔක්තෝබර් 4 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ඉදිරියට පවත්වාගෙන යාමට අවසර ලබා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති නීතිය ඉදිරියේ සමානාත්මතාව පිළිබඳ මූලික අයිතිය පදනම් කර ගනිමිනි. ජනාධිපති සමාවට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට ද නියෝග කෙරිණි.

දැන් එම දිගු නීතිමය ගමන අවසානයේ, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට ලබා දුන් ජනාධිපති සමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මෛත්‍රීගේ සමාවන් දෙකක් අධිකරණය ඉදිරියේ බිඳ වැටෙයි

මේ තීන්දුවට තවත් විශේෂ දේශපාලන හා ව්‍යවස්ථාමය පසුබිමක් තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස සිටියදී ලබා දුන් අතිශය ආන්දෝලනාත්මක ජනාධිපති සමාවක් මීට පෙර ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කර තිබේ.

ඒ, රෝයල් පාර්ක් ඝාතන නඩුවේ වරදකරු වූ දොන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහට 2019 නොවැම්බර් මාසයේ ලබා දුන් ජනාධිපති සමාවය.

2005 වසරේ රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජයමහ වරදකරු වී සිටියේය. ඔහුට ලබා දුන් ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය 2024 ජූනි මාසයේ එම සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීරණය කර එය බලරහිත කළේය.

දැන් ඥානසාර හිමියන්ට ලබා දුන් සමාවත් එම ඉරණමට මුහුණ දී තිබේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය ධුර කාලය තුළ ලබා දුන් දැඩි ආන්දෝලනයට ලක්වූ ජනාධිපති සමාවන් දෙකක් ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය ඉදිරියේ නීතිමය පරීක්ෂාවට ලක්වී බලරහිත වී ඇත.

එය පුද්ගලයන් දෙදෙනකුට ලබා දුන් සමාවන් දෙකක් පිළිබඳ කතාවකට පමණක් සීමා නොවේ.

විධායක ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති සමාව දීමේ බලය කොතරම් පුළුල් වුවත්, එම බලයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, මූලික අයිතිවාසිකම්වලට සහ නීතියේ ආධිපත්‍යයට ඉහළින් පිහිටි බලයක් නොවන බවට ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසය තුළ සටහන් වන වැදගත් අවස්ථා දෙකක් ලෙස මේ තීන්දු ඉතිරි වනු ඇත.