පාරම්පරික වෙදකම හිර කළ පූර්ව රෙගුලාසි වෙනස් කෙරේ – සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවෙන් නව නෛතික පදනමක් සකසන බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී කියයි!
පාරම්පරික වෛද්‍ය පවුල් සහ විවිධ කණ්ඩායම් අතර පවතින විවිධාකාර අදහස් හා සංකීර්ණතා නිරාකරණය කරගනිමින්, එම පාර්ශ්වයන් අතර ඇතිවන පොදු එකඟතාවය පදනම් කරගෙන දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඉදිරි නෛතික හා පරිපාලනමය පියවර ගන්නා බව ඇමතිවරයා පැවසුවේය.
LSN Sri Lanka ·

වසර දහස් ගණනක් තිස්සේ ක්‍රමානුකූලව වර්ධනය වූ දේශීය දැනුම් සම්ප්‍රදායක් සහ ගෞරවනීය සංස්කෘතික අංගයක් වන පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට තදබල ලෙස බාධා එල්ල කරමින් පනවා තිබූ රෙගුලාසි සංශෝධනය කර, එම ක්ෂේත්‍රය ගැටලුවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නෛතික පදනම සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයේ අනාගත පැවැත්මට අදාළව පාර්ලිමේන්තුවේ දී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මීට පෙර පැවති රෙගුලාසි සකස් කිරීමේ දී අදාළ කිසිදු පාර්ශ්වයක් සමඟ සාකච්ඡා කර නොමැති බව පෙන්වා දුන් ඇමතිවරයා, ආයුර්වේද වෛද්‍යවරුන්, දේශීය ඖෂධ නිෂ්පාදකයින්, ඖෂධ සැපයුම්කරුවන් හෝ ආනයනකරුවන්ගේ අදහස් විමසීමකින් තොරව නිකුත් කරන ලද ගැසට් නිවේදන හේතුවෙන් මුළු ක්ෂේත්‍රයම දැඩි ලෙස අඩපණ වී තිබූ බව සඳහන් කළේය. එමෙන්ම පෙර සිටි රාජ්‍ය අමාත්‍යවරයා දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව බාහිරව කොතෙක් කතා කළ ද, අදාළ රෙගුලාසි හරහා මුළු ක්ෂේත්‍රයේම ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම අහිරා තිබූ බව හෙතෙම අනාවරණය කළේය.

එම රෙගුලාසි ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට සිදු වූයේ නම්, නියාමන සභාවේ බලපෑම මත මෙරට අවුරුදු සියයකට වඩා පැරණි ඉතිහාසයක් සහිත දේශීය ඖෂධ නිෂ්පාදනාගාර පවා වැසී යාමේ දැඩි අවදානමක් පැවැති බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මෙම අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර විශේෂ ක්‍රමවේදයක් සකස් කරගත් බවත්, ඊට අදාළව සියලු පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් ඉදිරි කටයුතු සිදුකරන බවත් ඇමතිවරයා පැවසීය.

එමෙන්ම, මීට පෙර සකස් කර තිබූ කමිටු වාර්තාවක් ලැබී තිබුණ ද, එය එක් පාර්ශ්වයකට පමණක් බර වූ එකක් බැවින් තමන් ඊට අත්සන් නොකළ බව ද ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.

පාරම්පරික වෛද්‍ය පවුල් සහ විවිධ කණ්ඩායම් අතර පවතින විවිධාකාර අදහස් හා සංකීර්ණතා නිරාකරණය කරගනිමින්, එම පාර්ශ්වයන් අතර ඇතිවන පොදු එකඟතාවය පදනම් කරගෙන දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඉදිරි නෛතික හා පරිපාලනමය පියවර ගන්නා බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් අවධාරණය කළේය.