LSN News › Sri Lanka

විනිසුරුවරුන්ගේ වැටුපෙන් APIT බදු අය කිරීම නීත්‍යානුකූලයි: අධිකරණ සේවා සංගමය ඇතුළු සංගම්වල අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි!

මෙම තීන්දුවත් සමග අධිකරණ නිලධාරීන්ගේ වැටුප්වලින් APIT බදු අය කිරීම ඉදිරියටත් පවත්වාගෙන යාමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සහ අධිකරණ අමාත්‍යාංශයට පැවති බාධා ඉවත් වන අතර, දැනට අය කරගත් බදු මුදල් නැවත ලබා දීමට කළ ඉල්ලීමද සම්පූර්ණයෙන්ම නිෂේධනය වේ.

LSN Sri Lanka · 17 September 2026

විනිසුරුවරුන්ගේ වැටුපෙන් APIT බදු අය කිරීම නීත්‍යානුකූලයි: අධිකරණ සේවා සංගමය ඇතුළු  සංගම්වල අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි!

මහාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්චය සභා විනිසුරුවරුන් ඇතුළු අධිකරණ නිලධාරීන්ගේ වැටුප් සහ දීමනාවලින් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු (APIT) අඩු කිරීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අධිකරණ නිලධාරීන් නියෝජනය කරන ප්‍රධාන සංගම් තුනක් විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම් තුනම වියදම් රහිතව නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.

මෙම ප්‍රකාශිත තීන්දුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයක් විසින් ලබා දෙන ලදී. අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, විනිසුරු ඒ.එල්. ශිරාන් ගුණරත්න, විනිසුරු ජානක් ද සිල්වා, විනිසුරු මහින්ද සමයවර්ධන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් මෙම විනිසුරු මණ්ඩලය සමන්විත විය.

නඩුවේ ප්‍රධාන තීන්දුව විනිසුරු ජානක් ද සිල්වා විසින් සකස් කරන ලද අතර, අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, විනිසුරු මහින්ද සමයවර්ධන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර එම තීන්දුවට එකඟතාව පළ කළහ. විනිසුරු ශිරාන් ගුණරත්න බදු බැඳීම සහ APIT බදු අඩු කිරීම පිළිබඳ අවසන් නිගමනයන්ට එකඟ වූ නමුත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය තර්ක කිහිපයකදී වෙනස් විග්‍රහයක් ඉදිරිපත් කළේය.

නඩුවේ පසුබිම සහ පෙත්සම්කරුවන්ගේ තර්ක

මෙම නීතිමය ආරවුල නිර්මාණය වූයේ 2022 සහ 2023 කාලසීමාවේදී සිදුකළ දේශීය ආදායම් පනතේ සංශෝධන හා බදු ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවෙනි.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට 2021 අංක 10 දරන සංශෝධන පනත මගින් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු (APIT) ක්‍රමය හඳුන්වා දෙන ලදී. එම ක්‍රමවේදයට අනුව සේවායෝජකයා විසින් සේවකයාගේ වැටුපෙන් අදාළ බදු මුදල පූර්වයෙන් කපා හැර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුය. පසුව 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් බදු අනුපාත සංශෝධනය කෙරිණි.

ඊට අනුකූලව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2022 දෙසැම්බර් 22 දින නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවකට අනුව, 2023 ජනවාරි 01 වැනිදා සිට අධිකරණ නිලධාරීන්ගේ වැටුප්වලින්ද APIT බදු මුදල් කැපීම ආරම්භ විය.

මෙම පියවරට එරෙහිව සංගම් තුනක් අභියාචනා ගොනු කළේය:

මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය

අධිකරණ සේවා සංගමය (දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් සහ අතිරේක මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරමින්)

කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් නියෝජනය කරන සංගමය

පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ තර්ක කළේ අධිකරණ නිලධාරීන් කිසිදු සේවායෝජකයෙකුගේ සාමාන්‍ය "සේවකයින්" නොවන බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විධිවිධානවලට අනුව, විනිසුරුවරයෙකු තනතුරේ සිටින කාලය තුළ ඔහුගේ වැටුප සහ දීමනා අඩු කළ නොහැකි බවත්, APIT බදු අය කිරීම යනු වක්‍ර ලෙස වැටුප් අඩු කිරීමක් බැවින් එයින් අධිකරණ ස්වාධීනත්වයට හානි වන බවත් ඔවුහු පෙන්වා දුන්නාහ. සමහර විනිසුරුවරයෙකුගෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂ 15ත් 18ත් අතර බදු මුදලක් කැපී යන බවද පෙත්සම්වල සඳහන් විය.

2023 වසරේ මුලදී අභියාචනාධිකරණය විසින් මෙම රිට් පෙත්සම් සලකා බලා බදු අය කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කළද, 2023 නොවැම්බර් 02 වැනිදා අභියාචනාධිකරණ විභාග මණ්ඩලය මගින් පෙත්සම් තුනම ප්‍රතික්ෂේප කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මෙම අභියාචනා ඉදිරිපත් වූයේ එම තීන්දුවට එරෙහිවය. පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේ ඉදිරියට APIT බදු කැපීම නතර කරන ලෙසත්, දැනටමත් අය කරගෙන ඇති බදු මුදල් නැවත ලබා දෙන ලෙසත්ය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ප්‍රධාන කරුණු

ප්‍රධාන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජානක් ද සිල්වා සඳහන් කළේ, දේශීය ආදායම් පනත මගින් අධිකරණ නිලධාරීන් සහ අදාළ පාර්ශ්වයන් අතර සාම්ප්‍රදායික සේවායෝජක-සේවක සම්බන්ධතාවයක් නිර්මාණය නොකරන බවය. පනත මගින් සලකා බලනු ලබන්නේ වැටුප් ගෙවීම සිදුකරන පාර්ශ්වය කවුරුන්ද යන්න පමණක් වන අතර, එය APIT බදු කපා හැරීමේ වගකීම පැවරීම සඳහා පමණක් යොදා ගැනේ. ඒ අනුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වැටුප් ගෙවීම සිදුකරන බැවින් බදු මුදල් අඩු කර ගැනීමේ පරිපාලනමය වගකීම අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරෙන අතර, එමගින් විනිසුරුවරුන් රාජ්‍ය සේවකයින් හෝ අමාත්‍යාංශයක යටත් නිලධාරීන් බවට පත් නොවන බව අධිකරණය පැහැදිලි කළේය.

එමෙන්ම මෙම බදු අය කිරීම යම් නිශ්චිත කණ්ඩායමකට පමණක් එල්ල වූවක් නොව, නියමිත ආදායම් සීමාව ඉක්මවන රටේ සියලුම පුරවැසියන් වෙත එක හා සමානව බලපාන සාමාන්‍ය බද්දක් බව අධිකරණය පෙන්වා දුන්නේය. එබැවින් විනිසුරුවරුන්ගෙන් මෙම බද්ද අය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් හෝ අධිකරණ ස්වාධීනත්වයට හානි කරන "වැටුප් අඩු කිරීමක්" ලෙස සැලකිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

2022 දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ලබා දුන් විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව (SC SD 64–71/2022) නැවත මතක් කරදුන් අධිකරණය, සුබසාධන රාජ්‍යයක සියලුම පුරවැසියන් බදු ගෙවීමට යටත් වන විට විනිසුරුවරුන් පමණක් එම බදුවලින් නිදහස් කිරීමට කිසිදු තර්කානුකූල පදනමක් නොමැති බව යළි තහවුරු කළේය.

විනිසුරුවරුන්ගේ වැටුප් සහ මූල්‍ය දුෂ්කරතා

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ විශේෂත්වයක් වූයේ, විනිසුරුවරුන් වර්තමානයේ මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය දුෂ්කරතා පිළිබඳව අධිකරණයේ අවධානය යොමු වීමයි.

තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ, එම මූල්‍ය ගැටලුවලට විසඳුම වන්නේ විනිසුරුවරුන් සාමාන්‍ය රාජ්‍ය බදු ක්‍රමයෙන් නිදහස් කිරීම නොව, ඔවුන් ඉටුකරන සුවිශේෂී වගකීම සහ රටේ වැටුප් ප්‍රතිපත්තිය තුළ ඔවුන් සතු ස්ථානය සලකා බලා ප්‍රමාණවත් වැටුප් සහ දීමනා ලබා දීම බවය. එනම්, බදු ගෙවීමේ නෛතික වගකීම පවතින අතරම, විනිසුරුවරුන්ගේ වැටුප් තලයන් ගෞරවනීය හා ප්‍රමාණවත් මට්ටමක පවත්වාගෙන යාම රාජ්‍යයේ වගකීමක් බව අධිකරණය අවධාරණය කළේය.

නීතිමය නිගමනය

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් පහත නීතිමය කරුණු අවසන් වශයෙන් තීරණය විය:

මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් ඇතුළු සියලු අධිකරණ නිලධාරීන් තමන් ලබන වැටුප් හා දීමනා මත ආදායම් බදු ගෙවීමට නීත්‍යානුකූලව බැඳී සිටී.

අදාළ බලධාරීන්ට එම වැටුප්වලින් APIT බදු මුදල් කපා හැරීමට පූර්ණ නීතිමය බලය ඇත.

දේශීය ආදායම් පනතේ විධිවිධාන අධිකරණ නිලධාරීන්ට යෙදවීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු නොවේ.

මෙම තීන්දුවත් සමග අධිකරණ නිලධාරීන්ගේ වැටුප්වලින් APIT බදු අය කිරීම ඉදිරියටත් පවත්වාගෙන යාමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සහ අධිකරණ අමාත්‍යාංශයට පැවති බාධා ඉවත් වන අතර, දැනට අය කරගත් බදු මුදල් නැවත ලබා දීමට කළ ඉල්ලීමද සම්පූර්ණයෙන්ම නිෂේධනය වේ. ඒ සමගම, විනිසුරුවරුන්ගේ වැටුප් හා දීමනා ඉදිරියේදී සංශෝධනය කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය සංවාදයක් නැවත මතුවීමට මෙම තීන්දුව පදනමක් සපයා ඇත.