ඩුබායි සිට පිටුවහල් කළ ‘කොණ්ඩ රංජි’ CID භාරයට... කවුද මේ කොණ්ඩ රංජි?
කඳානේ වෙඩි ප්‍රහාරයකටත් නම ගෑවේ – මත්ද්‍රව්‍ය ජාලයක් පිළිබඳත් පොලිස් විමර්ශන – ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කර තිබූ අපරාධකරුවෙක්...
LSN Sri Lanka ·

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කළ රංජිත් කුමාර හෙවත් “කොණ්ඩ රංජි” අද (09) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

ඔහු සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකි.

ඔහු ඩුබායි රාජ්‍යයේ දී අත් අඩංගුවට පත් වී පසුව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධීකරණයකින් අනතුරුව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතව සිටියේය.

“කොණ්ඩ රංජි” නමින් හැඳින්වෙන රංජිත් කුමාර කඳාන ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ අපරාධ ජාලයකට සම්බන්ධ බවට පොලිස් විමර්ශනවලදී චෝදනා එල්ල වී තිබේ.

ඔහු මීට වසර කිහිපයකට පෙර සිය බිරිඳ සහ දරුවන් සමඟ ඩුබායි වෙත ගොස් ඇත

2024 දෙසැම්බර් මාසයේදී කඳාන වීදි මාවතේ පිහිටි ඔහුට අයත් බව කියන නිවසකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා තිබිණි.

එවකට වාර්තා වූ පොලිස් තොරතුරු අනුව රංජිත් කුමාර ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ගව සොරකම් ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මීට පෙර රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටි අයෙකි.

කඳාන වෙඩි තැබීම

“කොණ්ඩ රංජි” පිළිබඳ වඩාත් අවධානයට ලක්වූ සිද්ධියක් වන්නේ 2025 ජූලි 3 වැනිදා කඳාන පොදු වෙළෙඳපොළ ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමය.

එහි ප්‍රධාන ඉලක්කය වූයේ හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ හිටපු පෞද්ගලික ලේකම්වරයකු ලෙස කටයුතු කළ සමීර මනහරය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ටී-56 ගිනිඅවියකින් මෝටර් රථයට වෙඩි තබා තිබිණි. සමීර මනහර එහිදී තුවාල ලැබීය.

ඔහු සමඟ මෝටර් රථයේ සිටි උපාලි කුලවර්ධන වෙඩි වැදීමෙන් මියගියේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රහාරය “කොණ්ඩ රංජි” සහ ඔහුගේ සමීපතමයන්ගේ උපදෙස් මත සිදුකළ බව අනාවරණය වී තිබිණි. .

මත්ද්‍රව්‍ය ජාලයක් ගැනත් විමර්ශන

2026 අප්‍රේල් මාසයේදී ගනේමුල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12කට වැඩි ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 10කට වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබිණි.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 300කට ආසන්න බව පොලිසිය සඳහන් කළේය. පොලිස් විමර්ශන අනුව එම සැකකරු “කොණ්ඩ රංජි”ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සමීපතමයකු බවට හඳුනාගෙන තිබිණි.

ඔහුගේ ජංගම දුරකථනයේ “කොණ්ඩ රංජි” සමඟ සිදුකළ බව කියන මත්ද්‍රව්‍ය ගනුදෙනු සහ මුදල් හුවමාරු පිළිබඳ සංවාදද හමුවූ බව පොලිසිය ප්‍රකාශ කර තිබිණි.

එවකට පොලිසිය පැවසුවේ රංජිත් කුමාරට එරෙහිව වෙඩි තැබීම් හතරක්, ඝාතන උත්සාහයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා පවතින බවය.

ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කර තිබූ බව පොලිසිය සඳහන් කළේය.

ඩුබායි අත්අඩංගුව

රංජිත් කුමාර 2026 ජනවාරි 9 වැනිදා ඉතාලියට යාමට උත්සාහ කරමින් සිටියදී ඩුබායිහිදී අත්අඩංගුවට ගත් බව වාර්තා විය. ඔහුගේ බිරිඳ සහ දරුවන්ද එම අවස්ථාවේදී එරට ආරක්ෂක අංශ භාරයට ගෙන පසුව මුදාහැර තිබිණි.

ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට අදාළ අපරාධ වාර්තා ජාත්‍යන්තර පොලිසිය හරහා ඩුබායි පොලිසිය වෙත යැවීමටද පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් ජනවාරි අග භාගයේදී ඔහු ඩුබායි පොලිස් භාරයෙන් මුදාහැර ඇති බවටද මාධ්‍ය වාර්තා පළ විය. ඉන් පසුව ඔහු යළි එරට අත්අඩංගුවේ සිටින බව ශ්‍රී ලංකා පොලිසිය අප්‍රේල් සහ අගෝස්තු මාසවලදී ප්‍රකාශ කර තිබිණි.

අගෝස්තු 25 වැනිදා “බස් ලලිත්” ශ්‍රී ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් පොලිසිය ලබාදුන් තොරතුරුවලදීද “කොණ්ඩ රංජි” ඩුබායිහි අත්අඩංගුවේ පසුවන සැකකරුවන් අතර සිටින බව සඳහන් කළේය.

ඒ අනුව මාස ගණනාවක් පැවැති නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියකින් පසුව ඔහු අද ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.

ඔහු මෙරටට පැමිණීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

ඔහුට එරෙහිව මෙතෙක් ඉදිරිපත් වී ඇති චෝදනා, දැනට පවතින නඩු සහ විමර්ශන මෙන්ම විදේශගතව සිට මෙරට අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාල මෙහෙයවූ බවට ඇති තොරතුරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතය.