DIGIECON 2030 ඉලක්කයට පාර කියන E-commerce ජාත්යන්තර වාර්තාව එළිදකියි: මෙරට අපනයනකරුවන්ගෙන් 70%ක් දැනටමත් ඩිජිටල් වෙළඳපොළේ!
LSN Sri Lanka ·

DIGIECON 2030 ජාතික වැඩසටහන හරහා 2030 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථික ඉලක්කයක් සපුරා ගැනීමට ශ්රී ලංකාව සූදානම් වන පසුබිමක, මෙරට විද්යුත් වාණිජ්ය (E-commerce) ක්ෂේත්රය ජාත්යන්තර වෙළඳපොළ ජයග්රහණය කිරීම සඳහා යොදාගත හැකි ආකාරය පිළිබඳ පුළුල් විද්යාත්මක අධ්යයන වාර්තාවක් එළිදක්වා තිබේ.

‘ODI Global’ සහ ශ්රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් එකමුතුව (SLASSCOM) එක්ව සංවිධාන කළ මෙම වාර්තාව එළිදැක්වීමේ සහ ප්රතිපත්තිමය සාකච්ඡා සම්මන්ත්රණය පසුගියදා (08) ICTA ශ්රවණාගාර පරිශ්රයේදී පැවැත්විණි. ඒ ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්නගේ ප්රධානත්වයෙනි.

අපනයන සහ ආනයන ක්ෂේත්රවල නිරත මෙරට ප්රමුඛ ආයතන 953ක් ආවරණය කරමින් මෙම පුළුල් සමීක්ෂණය සිදුකර ඇත. එම වාර්තාවේ සඳහන් දත්තයන්ට අනුව, මෙරට අපනයනකරුවන්ගෙන් 70%ක් සහ සුළු හා මාධ්යම පරිමාණ (MSME) අපනයන ව්යාපාරවලින් 72%ක් දැනටමත් තම විදේශ වෙළඳ කටයුතු සක්රියව පවත්වාගෙන යාම සඳහා E-commerce තාක්ෂණය භාවිත කරන බව අනාවරණය වී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න පෙන්වා දුන්නේ ලංකාවේ ඕනෑම distant හෝ දුරස්ථ ප්රදේශයක සිටින කුඩා ව්යවසායකයෙකුට පවා කිසිදු භූගෝලීය බාධාවකින් තොරව සෘජුවම ගෝලීය වෙළඳපොළට ප්රවේශ වීමේ සැබෑ බලය E-commerce තාක්ෂණය සතු වන බවයි.

එසේම ඩිජිටල් ව්යාපාර සඳහා අවශ්ය ශක්තිමත් යටිතල පහසුකම් පද්ධතියක් ගොඩනැගීමට රජය මේ වන විටත් පියවර ගනිමින් සිටින බවත්, ශ්රී ලංකා ඩිජිටල් හැඳුනුම්පත (SLUDI), GovPay ගෙවීම් පද්ධතිය, දත්ත ආරක්ෂණ පනත, ජාතික AI ආයතනය සහ GovTech ආයතනය ඒ අතර ප්රමුඛ වන බවත් නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේය. මෙම ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 50ක ණය සහායක් ද ලබාදී තිබේ.

කෙසේ වෙතත් මෙරට E-commerce ක්ෂේත්රය තවදුරටත් වර්ධනය වීමේදී පවතින ප්රායෝගික බාධාවන් කිහිපයක් ද මෙහිදී අනාවරණය විය. රේගු ප්රමාදයන්, සැපයුම් ජාල (Logistics) අභියෝග, සයිබර් ආරක්ෂණ ගැටලු සහ අපනයනකරුවන්ගෙන් 90%ක් තවමත් සාම්ප්රදායික බැංකු හුවමාරු ක්රමවේද මතම යැපීම ඉන් ප්රධාන වේ. මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් ලෙස කුඩා වටිනාකම් සහිත නැව්ගත කිරීම් (small value shipments) සඳහා ලිහිල් රේගු ක්රමවේද සහ එක්ස්ප්රස් ලොජිස්ටික්ස් (Express Logistics) පද්ධති වහාම ස්ථාපිත කළ යුතු බව නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම විශේෂ සම්මන්ත්රණය සඳහා ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ ලේකම් වරුණ ශ්රී ධනපාල, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ GovTech ශ්රී ලංකා සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය, ODI Global ආයතනයේ ජාත්යන්තර ආර්ථික සංවර්ධන සමූහයේ අධ්යක්ෂ මහාචාර්ය ඩර්ක් විලෙම් ටේ වෙල්ඩේ, SLASSCOM සභාපති සම්පත් ජයසුන්දර, ODI Global ජ්යෙෂ්ඨ සාමාජික ආචාර්ය ගනේෂන් විග්නරාජා ඇතුළු රාජ්ය සහ පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.