ටෙන්ඩරයක් පවතිද්දි අමාත්‍ය මණ්ඩල අනුමැතියක් නැතිව Noble එක්ක කළ ඩොලර් මිලියන 16ක ගල් අඟුරු ගනුදෙනුව... විගණනය කියන ඇඟ හිරිවැටෙන කතාවක්!
ගල් අඟුරු විමර්ශනය – 01 නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ බවට විගණකාධිපතිවරයා හඳුනාගත් ප්‍රසම්පාදන අක්‍රමිකතා, අමතර වියදම්, අයකරගත නොහැකි වූ මුදල් සහ ආයතනික දුර්වලතා පිළිබඳව එම විගණන වාර්තාව පදනම් කරගත් විමර්ශන ලිපි මාලාවක් LMN විසින් අද සිට ඉදිරිපත් කිරීමට තීරණය කරමු. ජාතියක් ලෙස අප පත් වූ බිහිසුණු ආර්ථික ව්‍යසනයට පදනම දැමූ ලංකාවේ විශාලතම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව මතුවී ඇති විසංවාදය තුළ කියැවෙන වංචා දූෂණ ගැන ලියැවෙන්නේ රුපියල් බිලියන දහස් ගණනකිනි. එය අනාගතයේ දී නෛතික ක්‍රියාවලියක් ඉදිරියේ තීන්දු කළ යුතු බරපතල තත්ත්වයකි. එතෙක් 2009 - 2016 තුළ නොරොච්චෝලෙ ලක් විජය ගල් අඟුරු බලාගාරය සඳහා සීමා සහිත ලංකා ගල් අඟුරු සමාගම මගින් සිදුකළ ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධව විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ විගණන වාර්තාව ඇසුරින් මෙම ලිපි පෙළ ඔබ වෙත පෙළ ගස්වමු.
LSN Sri Lanka ·

2014 ජූලි මාසය වනවිට නොරොච්චෝලේ බලාගාරයට වසර හතරක් සඳහා ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.25ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් පැවතිණි. එය ආරම්භ කර තිබුණේ 2014 අප්‍රේල් 1 දිනයි.

ජූලි 3 දින ලංසු විවෘත කරන විට ලංසු හයක් ලැබී තිබිණි. තාක්ෂණික ඇගයීමේදී ඉන් පහක් ප්‍රතිචාරාත්මක නොවන ලංසු ලෙස ඉවත් වී තිබිණි. ඉතිරි වූයේ Swiss Singapore සමාගමයි.

ජූලි 9 දින තාක්ෂණික ඇගයීම් කමිටුව, ටොන් එකකට ඩොලර් 77.70ක අඩුම මිල ඉදිරිපත් කළ Swiss Singapore සමාගම තාක්ෂණික හා මූල්‍යමය වශයෙන් සුදුසු ලංසුකරු ලෙස සලකා, එම සමාගම සමඟ මිල සාකච්ඡා කිරීමට නිර්දේශ කළේය. අනතුරුව ගල් අඟුරු අවශ්‍යතාවයෙන් සියයට 50ක් එම සමාගමෙන් ටොන් එකකට ඩොලර් 77.50 බැගින් මිලදී ගැනීමට ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ කළේය. ඉතිරි සියයට 50 සඳහා නැවත ලංසු කැඳවීමටද නිර්දේශ විය.

තීරණයට එරෙහිව අභියාචනා කිරීමට අනෙකුත් ලංසුකරුවන්ට අවස්ථාව තිබිණි. ඒ අනුව Noble Resources ඇතුළු සමාගම් හතරක් අභියාචනා ඉදිරිපත් කළහ. Liberty,Trafigura සහ Kolma අභියාචනා ඉදිරිපත් කළ අනෙක් සමාගම්ය.

ඒ අභියාචනා ක්‍රියාවලියත් අවසන් වීමට පෙර, ජූලි 22 දින තවත් වැදගත් තීරණයක් ගනු ලැබීය. ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය Noble Resources වෙතින් වෙනම ගල් අඟුරු තොගයක් මිලදී ගැනීමට තීරණය කළේය.

ජූලි 22 — අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක්

2014 ජූලි 22 දින ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය Noble Resources සමාගමෙන් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 200,000ක්, තවත් සියයට 10ක් දක්වා වැඩි කළ හැකි ප්‍රමාණයක් සමඟ, ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 74.42ක FOB ස්ථාවර මිලකට මිලදී ගැනීමට තීරණය කර තිබිණි. මෙහි වැදගත්ම කාරණය වන්නේ මේ තීරණය සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ගත් එකක් නොවීමය.

විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව, 2014 ජූලි 24 දින Noble Resources සමඟ ගිවිසුමට එළඹ ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරවය.

අවසානයේ ටොන් 222,739ක්

මුලින් තීරණය වී තිබුණේ ටොන් 200,000ක් සහ සියයට 10ක අමතර ප්‍රමාණයක් සඳහාය. අවසානයේ Noble Resources වෙතින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 222,739ක් මිලදීගෙන තිබුණි. ඒ සඳහා ගෙවා තිබූ මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 16.04කි. ටොන් එකකට මිල ඩොලර් 74.42කි.

මෙහිදී එක කරුණක් පැහැදිලි කළ යුතුය. ඩොලර් මිලියන 16.04 යනු “රජයට අහිමි වූ මුදල” හෝ “වංචා කළ මුදල” ලෙස විගණන වාර්තාව කියන මුදලක් නොවේ. එය මේ ගල් අඟුරු තොගය මිලදී ගැනීම සඳහා ගෙවූ මුළු ගනුදෙනු වටිනාකමයි.

විගණකාධිපතිවරයාගේ වචන තවත් බරපතළයි

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා භාවිත කරන වචන දෙක විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය. එය “විනිවිදභාවයකින් තොරව සිදුකරන ලද ගනුදෙනුවක්” ලෙස නිරීක්ෂණය කරයි.

එසේම දිගුකාලීන ප්‍රසම්පාදනයක් සඳහා ලංසු කැඳවා ලංසුකරුවකු තෝරාගැනීමේ ක්‍රියාවලියක් පවතින අවස්ථාවක Noble Resources වෙතින් වෙනම ගල් අඟුරු මිලදී ගැනීම “ප්‍රශ්නකාරී ගනුදෙනුවක්” ලෙසද විගණනය සඳහන් කරයි.

එහෙත් මෙහිදී පාඨකයාට සාධාරණ ප්‍රශ්නයක් ඇතිවේ. Swiss Singapore සමාගම සඳහා නිර්දේශ වී තිබූ මිල ටොන් එකකට ඩොලර් 77.50ක් වනවිට, Noble Resources වෙතින් ගල් අඟුරු මිලදීගෙන තිබුණේ ඩොලර් 74.42කටය. එසේ නම් රටට වාසිදායක අඩු මිලකට ගල් අඟුරු ගැනීම ප්‍රශ්නයක් වන්නේ කෙසේද?”

විගණන වාර්තාවෙන් ලැබෙන පිළිතුර වන්නේ Noble මිල වැඩි බවක් නොවේ. ප්‍රශ්නය මිලදී ගැනීම සිදුකළ ක්‍රමය ය. එය සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව සිදුකර තිබීම විගණනය ප්‍රශ්න කරයි. තරගකාරී ක්‍රියාවලියක් නොමැතිව ඩොලර් 74.42 යනු එදා රජයට ලබාගත හැකි හොඳම මිලද යන්න තහවුරු කිරීමටද හැකියාවක් නැත.

ඒ නිසා මෙහි ප්‍රධාන ප්‍රශ්නය Noble සමාගම ගල් අඟුරු සැපයුවාද නැද්ද යන්න නොවේ. ප්‍රශ්නය ඇත්තේ වෙනත් තැනකය. නිල ටෙන්ඩර් ක්‍රියාවලියක් සහ අභියාචනා ක්‍රියාවලියක් පැවතියදී, එයින් බැහැරව Noble Resources වෙතින් ඩොලර් මිලියන 16ක පමණ ගල් අඟුරු මිලදී ගැනීමකට යාමට අවශ්‍යතාව කුමක් ද යන්නය. ?

හදිසි ගල් අඟුරු අවශ්‍යතාවක් තිබුණාද?

මෙයට සාධාරණ පිළිතුරක් තිබිය හැකිය. බලාගාරයට හදිසි ගල් අඟුරු හිඟයක් තිබුණා විය හැකිය. විදුලි සැපයුම අඛණ්ඩව තබාගැනීමට ඉක්මන් මිලදී ගැනීමක් අවශ්‍ය වී තිබුණා විය හැකියි. නමුත් විගණන වාර්තාවේ මේ ගනුදෙනුව සඳහා එවැනි හදිසි අවශ්‍යතාවයක් සම්පූර්ණයෙන් පැහැදිලි කර දෙන ලේඛන දාමයක් හමු නොවේ.

ඒ නිසා අප ඉදිරියේ තැබිය යුතු ප්‍රශ්නයත් ඉතා සරලය.

2014 ජූලි 22 දින අධ්‍යක්ෂ මණ්ඩලයට Noble Resources වෙතින් වෙනම ගල් අඟුරු මිලදී ගැනීමට සිදු වූ අනිවාර්ය හේතුව කුමක්ද?.

තීරණය ගත්තේ කවුද?

විගණන වාර්තාවෙන් අපට තහවුරු වන්නේ මෙම මිලදී ගැනීම ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් මත සිදුවූ බවය. මෙම මිලදී ගැනීම ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් මත සිදුවූ බැවින්, තීරණයේ ආයතනික වගකීම අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් වේ. විගණනය තවත් පෙන්වන්නේ රුපියල් මිලියන 500 ඉක්මවන ගිවිසුම් රේඛීය අමාත්‍යාංශ ලේකම් විසින් අත්සන් කළ යුතු බවය. මෙය එම ප්‍රමාණය ඉක්මවා යන ගිවිසුමකි. එහෙත් ඊට අත්සන් කරන්නේ නියමිත පරිදි රේඛීය අමාත්‍යාංශ ලේකම් නොවේ. ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති වරයාය.

තවම පිළිතුරු අවශ්‍ය ප්‍රශ්න

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ලංකා ගල් අඟුරු සමාගම, එවකට අධ්‍යක්ෂ මණ්ඩලය, විදුලිබල මණ්ඩලය සහ Noble Resources වෙතින් පැහැදිලි විය යුතු කරුණු තිබේ.

හදිසි ගල් අඟුරු අවශ්‍යතාව කුමක්ද? අමාත්‍ය මණ්ඩල අනුමැතිය නොමැතිව මෙම ක්‍රියාමාර්ගය ගැනීමට භාවිත කළ බලය කුමක්ද? ඩොලර් 74.42 මිල තීරණය කළේ කෙසේද? වෙළෙඳපොළ මිල සමඟ සංසන්දනයක් සිදුකළාද? දිගුකාලීන ටෙන්ඩරය පවතින අතරතුර Noble සමඟ වෙනම ගිවිසුමකට යාම අනිවාර්ය වූයේ ඇයි?

මේ ප්‍රශ්නවල පිළිතුරු ලැබෙන තුරු, විගණන වාර්තාවෙන් අපට තහවුරු කළ හැකි සීමාව මෙයයි:

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව, Noble Resources වෙතින් ඩොලර් මිලියන 16.04ක ගල් අඟුරු මිලදී ගැනීමක් සිදුවී තිබුණි. විගණකාධිපතිවරයා එය විනිවිදභාවයකින් තොර සහ ප්‍රශ්නකාරී ගනුදෙනුවක් ලෙස නිරීක්ෂණය කර තිබේ.

මෙය එකම ගනුදෙනුවක් පිළිබඳ කතාවක් නොවේ.ගල් අඟුරු මිලදී ගැනීමේදී ලංසු ලේඛනවල තිබූ කොන්දේසි සහ අවසන් ගිවිසුම්වල තිබූ කොන්දේසි අතරද සැලකිය යුතු වෙනස්කම් විගණනය හඳුනාගෙන තිබේ.

ඊළඟ ලිපියෙන් — Swiss Singapore ගිවිසුමේ 3% සහ 25% වූ ගල් අඟුරු කැට ප්‍රමාණ සීමා 5% සහ 30% බවට පත්වූයේ කෙසේද?