LSN News › Sri Lanka

උපයන විට ගෙවීමේ බදු (PAYE) සහනය ඉහළට – අත්‍යවශ්‍ය ආහාර හා පොත්පත් බදු අඩු කෙරේ:

උපයන විට ගෙවීමේ බදු (PAYE) නිදහස් සීමාව රුපියල් 162,500 දක්වා ඉහළ නැංවීම, හාල්මැස්සන්, උම්බලකඩ හා වියළි මිරිස් බදු අඩු කිරීම, අභ්‍යාස පොත් හා මුද්‍රිත පොත් වැට් බද්දෙන් නිදහස් කිරීම සහ වෛද්‍ය, නීතිපති, අධිකරණ, විශ්වවිද්‍යාල හා බන්ධනාගාර දීමනා වැඩි කිරීම පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙන්න.

LSN Sri Lanka · 12 November 2026

උපයන විට ගෙවීමේ බදු (PAYE) සහනය ඉහළට – අත්‍යවශ්‍ය ආහාර හා පොත්පත් බදු අඩු කෙරේ:

2027 අයවැය යෝජනාවලිය මගින් පෞද්ගලික ආදායම් බදු (PAYE) නිදහස් සීමාව ඉහළ නැංවීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දැමීම, අභ්‍යාස පොත් සහ මුද්‍රිත පොත් වැට් (VAT) බද්දෙන් නිදහස් කිරීම මෙන්ම සෞඛ්‍ය, අධිකරණ, නීතිපති දෙපාර්තමේන්තු, විශ්වවිද්‍යාල සහ බන්ධනාගාර නිලධාරීන්ගේ දීමනා ඉහළ නැංවීම සඳහා සුවිශේෂී යෝජනා රැසක් ඉදිරිපත් කර තිබේ.

බදු සංශෝධන සහ පාරිභෝගික සහන

පෞද්ගලික ආදායම් බදු සහනය (PAYE) ඉහළ නැංවීම: බදු රහිත ආදායම් සීමාව රුපියල් 162,500 දක්වා ඉහළ නැංවේ. ඒ අනුව, මාසිකව රුපියල් 162,500ක් දක්වා වැටුප් සහ දීමනා ලබන පුද්ගලයෙකු තම වැටුප මත බදු ගෙවීමට අවශ්‍ය නොවේ. සියයට 6ක බදු අනුපාතය අදාළ වන බදු ස්ථරය මසකට රුපියල් 70,833ක් වන අතර, ඉන් පසුව බදු ස්ථර මසකට රුපියල් 41,667 සිට රුපියල් 50,000 දක්වා පුළුල් කෙරේ. බදු අනුපාත සියයට 6, සියයට 12, සියයට 18, සියයට 24, සියයට 30 සහ සියයට 36 ලෙස සකස් කෙරෙන අතර සියයට 6 අනුපාතයෙන් පසුව සියයට 18 වෙනුවට සියයට 12ක අනුපාතයක් ක්‍රියාත්මක වේ. මෙම සංශෝධන මගින් උපරිම පෞද්ගලික ආදායම් බදු අනුපාතය අදාළ වන මාසික ආදායම් සීමාව රුපියල් 358,000 සිට රුපියල් 433,000 දක්වා ඉහළ යනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම තනි බදු ගෙවන්නෙකුටම අවම වශයෙන් රුපියල් 750 සිට උපරිම වශයෙන් රුපියල් 15,750 දක්වා අමතර මාසික බදු සහනයක් හිමි වේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීම: ආනයනික හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ රුපියල් 100ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10 දක්වාත්, උම්බලකඩ කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ රුපියල් 302ක බද්ද රුපියල් 10 දක්වාත් පහත හෙළීමට යෝජනා කර තිබේ. එමෙන්ම කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් කිලෝග්‍රෑමයක් මත පනවා ඇති බද්ද රුපියල් 50කින් අඩු කෙරේ. මෙම බදු සංශෝධන 2026 නොවැම්බර් 13 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

අභ්‍යාස පොත් සහ මුද්‍රිත පොත් වැට් (VAT) බද්දෙන් නිදහස් කිරීම: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමා චිත්‍ර සහ වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් ද එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කෙරේ. (මුද්‍රිත පොත් සහ අනෙකුත් මුද්‍රිත ද්‍රව්‍ය 2024 ජනවාරි මාසයේ සිට වැට් බද්දට යටත් වූ අතර, අභ්‍යාස පොත් ඊටත් පෙර සිටම වැට් බද්දට යටත්ව තිබුණි).

දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කිරීම: දේශීයව නිෂ්පාදනය කරන සීනි සහ ආනයනික සීනි අතර පවතින බදු විෂමතාව අවම කිරීමටත්, දෙපාර්ශ්වයටම සමාන තරගකාරී අවස්ථා සහ සාධාරණ තරගකාරී පරිසරයක් නිර්මාණය කිරීමටත්, වඩාත් මධ්‍යස්ථ හා සාධාරණ බදු සැලකිල්ලක් තහවුරු කිරීමටත් ආනයනික සීනි කිලෝග්‍රෑමයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10කින් ඉහළ නැංවේ.

ඔට්ටු ඇල්ලීමේ සහ සූදු කර්මාන්තය (Betting and Gaming Industry): ද්විත්ව බදුකරණ අවස්ථා සහ නොගැලපීම් ඉවත් කිරීම, බදු ව්‍යුහය ජාත්‍යන්තර යහපත් පිළිවෙත් සමඟ පෙළගැස්වීම සහ රජයේ ආදායම සුරක්ෂිත කරන අතරම කර්මාන්තයේ තිරසාර සංවර්ධනයට සහාය වන සාධාරණ හා සමබර ප්‍රවේශයක් තහවුරු කිරීමේ අරමුණින් මෙම කර්මාන්තයට අදාළ බදු, ගාස්තු සහ අයකිරීම් සමාලෝචනය කෙරේ.

සෞඛ්‍ය, අධ්‍යාපන සහ රාජ්‍ය අංශයේ දීමනා ඉහළ නැංවීම

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා වැඩි කිරීම: වෛද්‍ය නිලධාරීන්ට ගෙවනු ලබන DAT දීමනාව රුපියල් 70,000 සිට රුපියල් 95,000 දක්වා රුපියල් 25,000කින් ඉහළ නැංවේ. හෙද නිලධාරීන්ගේ සහ පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවල නිලධාරීන්ගේ මාසික විශේෂ රාජකාරි දීමනාව රුපියල් 6,000 සිට රුපියල් 12,000 දක්වාත්, අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මාසික විශේෂ රාජකාරි දීමනාව රුපියල් 2,000 සිට රුපියල් 4,000 දක්වාත් වැඩි කෙරේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා යෝජිත මෙම දීමනා වැඩිවීම් පියවර දෙකකින් ගෙවීමට යෝජනා කර ඇති අතර, ඒ අනුව වැඩිවීමෙන් සියයට 50ක් 2027 ජූලි මාසයේ සිට ද, ඉතිරි සියයට 50 2028 වසරේදී ද ගෙවනු ලැබේ.

විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතන කථිකාචාර්යවරුන්ගේ දීමනා: විශ්වවිද්‍යාල ආචාර්ය කාර්ය මණ්ඩලයට දැනට ගෙවනු ලබන මාසික අධ්‍යයන දීමනාව රුපියල් 25,000කින් ඉහළ නැංවේ. මෙම වැඩිවීමෙන් සියයට 50ක් 2027 ජූලි මාසයේ සිට ද, ඉතිරි සියයට 50 2028 ජූලි මාසයේ සිට ද ගෙවීමට අපේක්ෂා කෙරේ. තවද බාහිර කථිකාචාර්යවරුන්ට ගෙවනු ලබන ගෙවීම් පවතින අනුපාතයන්ට අනුකූලව තුන් ගුණයකින් ඉහළ නැංවෙන අතර, ඒ අනුව පැයකට දැනට ගෙවනු ලබන රුපියල් 1,500ක දීමනාව රුපියල් 4,500 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත. ප්‍රායෝගික පරීක්ෂණ සඳහා බාහිර උපදේශකයින්ට පැයකට ගෙවනු ලබන රුපියල් 600ක දීමනාව රුපියල් 1,800 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කෙරේ. මීට අමතරව වෘත්තීය සහ තාක්ෂණික ආයතනවල බාහිර කථිකාචාර්යවරුන්ට කරනු ලබන ගෙවීම් ද පවතින අනුපාතයන්ට අනුකූලව සියයට 100කින් ඉහළ නැංවේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දීමනා: නීතිපති, සොලිසිටර් ජනරාල් සහ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ යන තනතුරු සඳහා දැනට ගෙවන මාසික වෘත්තීය නොවන දීමනාව (Non-practising allowance) රුපියල් 25,000කින් ද, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ සහ රජයේ අධිනීතිඥ තනතුරුවල නිලධාරීන් සඳහා එම දීමනාව රුපියල් 20,000කින් ද ඉහළ නැංවේ. මෙම වැඩිවීමෙන් සියයට 50ක් 2027 ජූලි මාසයේ සිට ද, ඉතිරි සියයට 50 2028 වසරේදී ද ගෙවීමට පියවර ගැනේ. එමෙන්ම 2027 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි නිල වාහන සඳහා හිමිකම් ඇති නිලධාරීන්ට ගෙවන මාසික ප්‍රවාහන දීමනාව රුපියල් 50,000කින් වැඩි කිරීමටත්, හිමිකම් ඇති නිලධාරීන්ට ගෙවන මාසික රියදුරු දීමනාව රුපියල් 25,000 සිට රුපියල් 50,000 දක්වා ඉහළ නැංවීමටත්, දැනට ගෙවනු ලබන නිවාස දීමනාව සියයට 100කින් වැඩි කිරීමටත් යෝජනා කර තිබේ.

අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ දීමනා: මහාධිකරණ විනිසුරුවරුන්, විශේෂ ශ්‍රේණියේ අධිකරණ නිලධාරීන් සහ අනෙකුත් ශ්‍රේණිවල අධිකරණ නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික වෘත්තීය දීමනාව රුපියල් 25,000කින් ඉහළ නැංවේ. මෙම වැඩිවීමෙන් සියයට 50ක් 2027 ජූලි මාසයේ සිට ද, ඉතිරි සියයට 50 2028 වසරේදී ද ගෙවීමට පියවර ගැනේ. 2027 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි නිල වාහන සඳහා හිමිකම් ඇති නිලධාරීන්ට දැනට ගෙවන මාසික ප්‍රවාහන දීමනාව රුපියල් 50,000කින් වැඩි කිරීමටත්, හිමිකම් ඇති නිලධාරීන්ට ගෙවන මාසික රියදුරු දීමනාව රුපියල් 25,000 සිට රුපියල් 50,000 දක්වා ඉහළ නැංවීමටත් යෝජනා කර ඇත. තවද රජය විසින් ස්වකීය හෝ බදු පදනම මත ලබාගත් නිල නිවසක් ලබා දී නොමැති අවස්ථාවලදී ඔවුන්ගේ නේවාසික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දැරීමට සිදුවන වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, මහාධිකරණ විනිසුරුවරුන්ට සහ අනෙකුත් විනිසුරුවරුන්ට දැනට ගෙවනු ලබන මාසික නිවාස දීමනාව සියයට 100කින් ඉහළ නැංවීමට යෝජනා වී තිබේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ අවදානම් දීමනාව: බන්ධනාගාර නිලධාරීන් තම රාජකාරි ඉටු කිරීමේදී මුහුණ දෙන දුෂ්කර හා ඉහළ අවදානම් සහිත සේවා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ඔවුන්ට දැනට ගෙවනු ලබන මාසික අවදානම් දීමනාව රුපියල් 8,000 සිට රුපියල් 16,000 දක්වා සියයට 100කින් ඉහළ නැංවීමට පියවර ගැනේ. එමෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරන සිවිල් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන රුපියල් 2,250ක දීමනාව රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් සඳහා යෝජිත මෙම දීමනා 2027 ජූලි මාසයේ සිට ගෙවීමට යෝජනා කර තිබේ.